"ඉන්ධන සහනාධාරයක් නොදුන්නොත් බස් ධාවනය අසීරුයි" බස් සංගම්වලින් රජයට හදිසි ඉල්ලීමක්!

02 Jun 2026, 5:08 PM | Economy | Views: 13

Article Image
ලබන ජූලි මස 2 වැනිදා සිදු කිරීමට නියමිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනය තෙක්, ඉදිරි මාසයක කාලය සඳහා තමන්ට ඉන්ධන සහනාධාරයක් ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටීමට බස් සංගම් තීරණය කර ඇත.

මෙම ඉල්ලීම නිල වශයෙන් ඉදිරිපත් කිරීම සඳහා බස් සංගම් නියෝජිතයන් හෙට (4) ප්‍රවාහන අමාත්‍යංශය වෙත යාමට නියමිත බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අද (2) ප්‍රකාශ කළේය.

මෙරට ප්‍රධාන බස් සංගම් මෙන්ම පළාත් මට්ටමේ සියලුම බස් සංගම්වල සහභාගිත්වයෙන් අද (2) කොළඹදී පැවැත්වුණු විශේෂ සාකච්ඡාවකදී මෙම ඒකමතික තීරණයට එළඹි බව විජේරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

පවතින තත්ත්වය හමුවේ ඉන්ධන සහනාධාරයක් නොලැබුණහොත් ඉදිරි කාලය තුළ බස් රථ ධාවනය කිරීම දැඩි ලෙස අපහසු වනු ඇති බව ගැමුණු විජේරත්න මහතා පෙන්වා දෙයි.

මේ හේතුවෙන් ප්‍රවාහන අමාත්‍යංශය පාර්ශවයෙන් මේ සඳහා සාධනීය සහ සතුටුදායක පිළිතුරක් ලැබෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවද ඔහු කියා සිටියේය.

මේ අතර, අධිවේගී මාර්ග බස් රථ හිමියන්ගේ සංගමයේ නියෝජිතයන් පිරිසක්ද අද (2) ජාතික ගමනාගමන කොමිෂන් සභාව වෙත පැමිණ ඇත. එහිදී ඔවුන් බස් ගාස්තු සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු පිළිබඳව එම කොමිෂන් සභාවේ ප්‍රධානීන් සමඟ විශේෂ සාකච්ඡාවක නිරත වූ බව වාර්තා වේ.

බස් රථ සඳහා ප්‍රධාන වශයෙන්ම භාවිත වන ඔටෝ ඩීසල් ලීටරයක මිල පසුගිය මැයි මාසයේදී රුපියල් 10 කින් ඉහළ දැමුණු අතර, මෙම මාසයේදී යළිත් රුපියල් 15 කින් මිල ඉහළ දැමීමට පියවර ගැනුණි.

ඒ අනුව කෙටි කාලයක් තුළ ඔටෝ ඩීසල් ලීටරයක මිල සමස්තයක් ලෙස රුපියල් 25 කින් ඉහළ ගොස් තිබීම හේතුවෙන් බස් කර්මාන්තය මේ වන විට දැඩි පීඩනයකට ලක්ව ඇත.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.