වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ජූලි 03 වනදාට - ඩීසල් මිල අඩු වුවද ඉදිරි මාස 6 තුළ ගාස්තු අඩු නොකරන බව පෞද්ගලික බස් හිමියන් කියයි
21 Jun 2026, 3:46 PM |
Economy |
Views: 23
සෑම වසරකම නිල වශයෙන් සිදුවන වාර්ෂික බස් ගාස්තු සංශෝධනය මෙවර එළඹෙන ජූලි මස 03 වන දින ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරමින් පවතින බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ (LPBOA) සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
සාමාන්‍යයෙන් සෑම වසරකම ජූලි මස 01 වන දින සිට ක්‍රියාත්මක වීමට නියමිතව ඇති මෙම වාර්ෂික බස් ගාස්තු සංශෝධනය, මෙවර ජූලි මස 03 වන දින දක්වා දින දෙකකින් ප්‍රමාද කිරීමට හේතු වී ඇත්තේ මෙරට වත්මන් මාසික ඉන්ධන මිල සංශෝධන ක්‍රියාවලියයි.
ජූලි මස මුලදී සිදුවීමට නියමිත මාසික ඉන්ධන මිල සංශෝධනය පිළිබඳව දැඩිව අවධානය යොමු කරමින් මෙම තීරණය ගැනීමට අවධානය යොමුව ඇති බව පැවසූ ඒ මහතා, මේ සම්බන්ධයෙන් ඉදිරියේදී අනෙකුත් සියලුම බස් සංගම් සමඟ ද විශේෂ සාකච්ඡාවක් පවත්වන බව සඳහන් කළේය.
කෙසේ වුවද, ඉදිරි ඉන්ධන මිල සංශෝධනයේදී යම් හෙයකින් ඩීසල් මිල පහළ ගියද, ඉදිරි මාස 6 ක (06 Months) කාලය පුරා කිසිදු අයුරකින් බස් ගාස්තු අඩු කිරීමකට තම සංගමය එකඟ නොවන බව සභාපතිවරයා අවධාරණය කළේය.
දැනට පවතින බස් ගාස්තු මට්ටමම ඉදිරි මාස 6 තිස්සේ වෙනසකින් තොරව පවත්වාගෙන යාම තම ස්ථාවරය බව ඔහු කියා සිටියේය.
මේ වන විට සමස්ත බස් කර්මාන්තයම බරපතළ මූල්‍ය අර්බුදයකට මුහුණ දී ඇති බව පෙන්වා දුන් ගැමුණු විජේරත්න මහතා, ජූනි මාසයේ ආරම්භයේ (ජූනි 01) සිට මේ දක්වා ගතවූ කාලය තුළ පමණක් බස් කර්මාන්තයට රුපියල් කෝටි 60 ක දැවැන්ත පාඩුවක් සිදුව ඇති බව ද අනාවරණය කළේය.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා මෙසේ ද පැවසීය;
"ඉදිරියේදී ඩීසල් මිල අඩු කළත් අපි ඉදිරි මාස 6ක් යනකම් බස් ගාස්තු සතයකින්වත් අඩු කරන්න කටයුතු කරන්නේ නැහැ.
මොකද මේ වෙලාවේ බස් කර්මාන්තය ඇතුළේ බරපතළ මූල්‍ය අර්බුදයක් නිර්මාණය වෙලා තිබෙනවා.
මේ ජූනි 1 වැනිදා ඉඳන් ජූනි මාසය අවසන් වෙනකම් මේ මාසේ ඇතුළත රුපියල් 25ක පාඩුවක් එක්ක අපිට රුපියල් කෝටි 60ක මහා පරිමාණ පාඩුවක් වෙලා තියෙනවා. අපි කියන්නේ මේ ගාස්තු සංශෝධන ක්‍රමය මුලින්ම හදාගන්න වෙනවා.
ඩීසල් මිල අඩු කළා කියලා මාස 6ක් යනකන් අපි ගාස්තු අඩු කරන්නේ නැහැ, පුළුවන් නම් අපිට විරුද්ධව නඩු දාන්න කියලා අපි අභියෝග කරනවා. ප්‍රතිපත්තියක් විදිහට ලංකාවේ කිසිම තැනක නීතියෙන් සඳහන් කරලා නැහැ ඩීසල් මිල අඩු කරපු සැනින් බස් ගාස්තු අඩු කරන්න ඕනේ කියලා."