ජාතික රණවිරු උපහාර උළෙල අද පස්වරුවේ

19 May 2026, 10:52 AM | News | Views: 16

Article Image
දශක තුනකට අධික කාලයක් පැවැති කුරිරු එල්.ටී.ටි.ඊ. ත්‍රස්තවාදය පරාජය කර මෙරටට සාමය උදාකර දී වසර 17ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කරනු ලබන 'ජාතික රණවිරු සැමරුම් උත්සවය' අද (19) පස්වරුවේ උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට නියමිතය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසලදී පස්වරු 2.45ට මෙම උපහාර උළෙල ආරම්භ වේ. රණවිරු සේවා අධිකාරිය විසින් සංවිධානය කරනු ලබන මෙවර උත්සවය සඳහා යුද, නාවික, ගුවන්, පොලිස්, විශේෂ කාර්ය බළකාය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් 2,769 දෙනෙකුගෙන් යුත් පිරිසක් සහභාගී වීමට නියමිතය.

මෙවර උත්සවයේ කැපී පෙනෙන විශේෂත්වයක් වන්නේ, උතුරු සහ නැඟෙනහිර පළාත්වලින් ත්‍රිවිධ හමුදාවට එක්ව මව්බිම වෙනුවෙන් දිවි පිදූ ද්‍රවිඩ සහ මුස්ලිම් රණවිරුවන්ගේ පවුල්වල ඥාතීන් 30 දෙනෙකු පමණ විශේෂ ආරාධිතයන් ලෙස එක් කර ගැනීමයි. එසේම රණවිරු මව්පියන් සහ ඥාතීන් 160කට වැඩි පිරිසකට ප්‍රධාන උත්සවයට සෘජුව සම්බන්ධ වීමට අවස්ථාව ලබා දී ඇත.

තවත් විශේෂත්වයක් වන්නේ ජනාධිපතිවරයා ඇතුළු විශේෂ ආරාධිතයන් මල් කලඹ පූජා කරන අවස්ථාවේදී, එම රණවිරු පවුල්වල සාමාජිකයන්ට ද ඔවුන් සමඟ ගොස් ස්මාරකය අභියස මල් කලඹ පූජා කිරීමට පහසුකම් සලසා තිබීමයි.

1975 වසරේ යාපනය නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරෙයිප්පා ඝාතනයෙන් ආරම්භ වූ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය, දශක තුනක් පුරා මෙරට ආර්ථික මර්මස්ථාන, සිවිල් ජනතාව සහ ආගමික ස්ථාන ඉලක්ක කරගනිමින් ම්ලේච්ඡ ප්‍රහාර එල්ල කළේය. 2009 මැයි 18 වැනිදා නන්දිකඩාල් කලපුවේදී එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් රණවිරුවන් අතින් මියයාමත් සමඟ මෙම කුරිරු යුද්ධය නිමාවට පත් විය.

එම විජයග්‍රහණය සැමරීම සහ මව්බිම වෙනුවෙන් දිවිපිදූ සියලුම රණවිරුවන්ට ගෞරව දැක්වීම උදෙසා වාර්ෂිකව පවත්වනු ලබන මෙම උත්සවය අද පස්වරු 6.45ට අවසන් වීමට නියමිතය.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.