සාක්ෂි මරන සියදිවි නසාගැණීම් වල අවධාණම..

19 Jul 2026, 1:18 PM | News | Views: 3

Article Image
පොළොවට එළිය වැටෙන විට රටේ “මොනවා වෙලාදැ..”යි මිනිසුන් තුළ කිසියම් විචිකිච්ඡාවක් හටගෙන තිබේ. මෙම මරණය සියදිවි නසා ගැනීමක්ද, නැත්නම් ඝාතනයක්ද, එසේත් නැත්නම් සැක සහිත මරණයක්දැයි නිශ්චිත වන්නේ පශ්චාත් මරණ පරීක්ෂණයකින් ඔබ්බටය.

මේවා සුළුකොට තැකිය හැකි සිදුවීම් නොවන බැවින් එම සිද්ධි අසන කවුරුත් පළමුව තැති ගනිති. මරණයට පත් වන්නේ හිටපු විශ්‍රාමික පොලිස්පතිවරයකි. මීට මාස කීපයකට පෙර එනම් මැයි මස 08 වෙනිදා මේ අන්දමේ අභිරහස් මරණයක් වාර්තා විය. ඒ කපිල චන්ද්‍රසේන නැමති අයගේය. රටේ ආන්දෝලනාත්මක සිදුවීමක් සම්බන්ධයෙන් සැකකරුවෙකුව සිට උසාවියෙන් ඇප ලබා පැමිණි ඔහුගේ සිරුර පසු දිනයේ හමුවිය.

එම සිද්ධියට ආසන්න දවසකදී නිශාන්ත රාජපක්ෂ නමැති රාජ්‍ය සේවකයාගේ සිරුර හමු වන්නේ ඔහුගේ නිවස පිහිටි ගෙවත්තේ තැනක තිබියදීය. ඒ වනවිට මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකර්වරයකුගේ ගිණුමකට බැරවීමේ ආන්දෝලනාත්මක සිද්ධියක් පිළිබඳ පොලිස් විමර්ශන ක්‍රියාත්මක වෙමින් තිබිණ. එම සිදුවීමේ ප්‍රධාන පෙළේ සාක්ෂිකරුවෙක් විය හැක්කේ නිශාන්ත රාජපක්ෂ බව රට හමුවේ දිගහැරුණු පුවත් මගින් ජනතාවට පෙනී ගොස් තිබිණ. ඔහුගෙන් කට උත්තර පවා ලබා ගැනින. ඒ අතරේ ඔහු මිය ගියේය. ඔහුගේ මරණය සියදිවි හානිකර ගැනීමක් බව ඔප්පු කරන්නට ආණ්ඩුවට ලොකු ‘ජව්සමක්’ නටන්නට සිදුවූ ආකාරයද අප දුටුවෙමු.

මේ ආකාරයට සියදිවි නසා ගැනීමට හා මරණයට පත් වන්නේ අධිකරණයේ විභාග වන ප්‍රධාන පෙළේ නඩුවලට අවශ්‍ය පුද්ගලයන්ය. මොවුන් කිසිම අධිකරණයක් මගින් වැරදිකරුවත් කර නොමැත. ඒ ආසන්නයට හෝ පැමිණි බවක් දකින්නට නැතිව තිබියදී ජීවිතක්ෂයට පත්වීම භයානක තත්ත්වයකි.

රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී සුරේ සලේ තමන් සිය දිවි හානිකර ගන්නා බවට පසුගිය සති කිහිපයක් පුරා රටේ මහත් ආන්දෝලනයක් ඇති කළේය. සිය දිවි හානි කර ගන්නා බවට ප්‍රකාශ (තර්ජන) කිරීම රට කළඹන, ජනතාව නොසන්සුන් කළ ආකාරයේ වෙනස්ම තත්ත්වයකි. එවැනි සිදුවීම් මීට පෙර රටේ සිදුවූ බවක් අපට මතක නැත.

කෙසේ වෙතත් අධිකරණය හමුවේ රටට අතිශය වැදගත් නඩු රැසක් විභාග වෙමින් පවතින කාලයක් වශයෙන් වර්තමානය නම් කළ හැක. එම නඩු සාර්ථකව අවසන් කිරීමට අවශ්‍ය සාක්ෂිකරුවන්, සැකකරුවන් හෝ අදාල තවත් පාර්ශව සියල්ලේ ජීවිත සුරක්ෂිත භාවය, අඹු දරුවන්ගේ අනාගතය පිළිබඳ ඔවුන් තුළ මනෝමය විශ්වාසයක් සහ ලබැඳියාවක් ගොඩනැගීම අත්‍යවශ්‍ය කාරණයකි. එබඳු ආයතන පිළිබඳ විදේශ රටවලින් හැදෑරීමක් කල හැක. හදිස්සියේ මේ ආකාරයටම ඉදිරියේදිත් මිය යන්නට ගියහොත් මොන වගේ තත්ත්වයක් නීති පද්ධතිය තුළ සහ මානව සමාජයේ ඇතිවේදැයි වගකිව යුත්තන්ගේ අවධානයට ලක්විය යුතු කරුණකි.

අද උදේ වෙඩි වැදීමෙන් මරුමුවට පත් වූ හිටපු පොලිස්පතිවරයාද පාස්කු ප්‍රහාරය සම්බන්ධව රහස් පොලිසියට දීර්ඝ කට උත්තරයක් ඉකුත් මාර්තු මාසයේදී ලබා දුන් අයෙක් බව වාර්තාවේ. එහි ඉතා වැදගත් කරුණු රැසක් අඩංගු වී තිබූ බවක්ද වාර්තා වෙයි. හිටිහැටියේ හිටපු පොලිස්පතිවරයා වෙඩි පහරකින් මරුමුවට පත්වීම දැවැන්ත කුතුහලයක් නංවන සිද්ධියක් බවට පත්වන්නේ එම පසුබිම ද සමගය. වෙඩිල්ල වැදී ඇත්තේ ඔහුගේ පපු පෙදෙසට බව වාර්තාවේ. එයින් අදහස් වන්නේ එක උණ්ඩයකින් ඔහුගේ ජීවිතයේ සියලුම පරිච්ඡේද වසා දැමීමට ගත් දැඩි තීන්දුවයි.එම මරණයේ අභියෝගය එල්ල වන්නේ කාටද?

මීට පෙර රාජ්‍ය පාලන කාලවලදී වැදගත් සාක්‍ෂිකරුවන් සදහටම අතුරුදන් වූයේ පාලන තන්ත්‍රයේ විවිධ කුලී හමුදා අතින්ය. නඩුත් නැත. බඩුත් නැත. සාක්කිත් නැත.

නමුත් වර්තමානය වෙනස් මුහුණුවරකට පරිවර්තනය වී තිබෙනු පෙනේ. එයද සාධාරණීකරණය කළ හැකි තත්ත්වයක් නොවන බවක් දැනෙන්නේ ඉහත කරුණු කාරණා මතය....
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.