හිල්ටන් යාල රිසෝට් වෙත ජාත්යන්තර සම්මාන ද්විත්වයක්
21 Oct 2026, 5:22 PM |
News |
Views: 5
ශ්රී ලංකාවේ වනජීවී සංචාරක ක්ෂේත්රයේ සුවිශේෂී ගමනාන්තයක් වන ''Hilton Yala Resort'' ජාත්යන්තර LUXE Global Awards සම්මාන උළෙලේදී සම්මාන දෙකකින් පිදුම් ලබා තිබේ.
ඒ අනුව, ශ්රී ලංකාවේ හොඳම සුඛෝපභෝගී සෆාරි අත්දැකීම (Best Luxury Safari Experience in Sri Lanka) සහ ආසියාවේ හොඳම සුඛෝපභෝගී තිරසාර නිවාඩු නිකේතනය (Best Luxury Sustainable Resort in Asia) යන සම්මාන හිල්ටන් යාල රිසෝට් වෙත හිමිව ඇත.
යාල ජාතික වනෝද්යානයට මායිම්ව පිහිටි මෙම නිවාඩු නිකේතනය, ශ්රී ලංකාවේ දකුණු ප්රදේශයේ සුවිශේෂී ජෛව විවිධත්වය සහ ස්වාභාවික පරිසරය අත්විඳීමට සංචාරකයන්ට අවස්ථාව සලසයි. වනජීවී අත්දැකීම්, නවීන සුඛෝපභෝගී පහසුකම් සහ පරිසරයට ගැළපෙන නිර්මාණ සංකල්ප එහි විශේෂත්වයන් ලෙස සැලකේ.
ශ්රී ලංකාවේ හොඳම සුඛෝපභෝගී සෆාරි අත්දැකීම සඳහා හිමි වූ සම්මානය, සංචාරකයන්ට වනජීවීන් සමීපව නිරීක්ෂණය කිරීමට මෙන්ම යාල පරිසර පද්ධතිය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබාදීමට රිසෝට් ආයතනය දරන උත්සාහය අගය කිරීමක් ලෙස සඳහන් වේ.
එහි ප්රධාන රේන්ජර්වරයා වන සජිත් විතානගේ මහතාගේ නායකත්වයෙන් ක්රියාත්මක වන රේන්ජර් කණ්ඩායමට, Field Guides Association of Southern Africa (FGASA) සහ CyberTracker යන ආයතනවල සුදුසුකම් ලත් මඟපෙන්වන්නන් ඇතුළත් වේ. වනජීවීන් නිරීක්ෂණය කිරීම, සතුන්ගේ හැසිරීම් හඳුනාගැනීම සහ පරිසර පද්ධති පිළිබඳ දැනුම සංචාරකයන් සමඟ බෙදාගැනීම එම කණ්ඩායමේ ප්රධාන කාර්යයන් අතර වේ.
එමෙන්ම, ආසියාවේ හොඳම සුඛෝපභෝගී තිරසාර නිවාඩු නිකේතනය ලෙස ලැබූ සම්මානය මඟින් පරිසරයට ගරු කරමින් සංචාරකයන්ට උසස් අත්දැකීම් ලබාදීමේ ආයතනයේ ප්රවේශය ද ඇගයීමට ලක්ව ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Hilton Yala Resort හි අලෙවිකරණ හා සන්නිවේදන අධ්යක්ෂ සනෝජ් පෙරේරා මහතා සඳහන් කර ඇත්තේ, මෙම සම්මාන මඟින් යාල වනපෙත හා ඒ වෙනුවෙන් ආයතනය සතු වගකීම යන කරුණු දෙකම ඇගයීමට ලක්වන බවයි. එමෙන්ම, රේන්ජර් කණ්ඩායමේ දැනුම සහ කැපවීම සංචාරකයන්ගේ වනජීවී අත්දැකීම් වඩාත් අර්ථවත් කිරීමට දායක වන බව ද ඔහු පෙන්වා දී තිබේ.
ඉදිරියේදී ශ්රී ලංකාව තුළ ක්ෂේත්ර මඟපෙන්වීම් වෘත්තිය තවදුරටත් සංවර්ධනය කිරීමේ අරමුණින් Field Guides Association of Sri Lanka (FGASL) වැඩපිළිවෙළ සඳහා දායක වීමට Hilton Yala Resort කටයුතු කරමින් සිටියි.
ඒ අනුව, වෘත්තීය පුහුණුව, දැනුම හුවමාරු කරගැනීම සහ පරිසරය පිළිබඳ නිවැරදි අවබෝධයක් සංචාරකයන්ට ලබාදීම ප්රවර්ධනය කිරීම කෙරෙහි ද අවධානය යොමු කර තිබේ.
මෙම සම්මාන ද්විත්වය ශ්රී ලංකාවේ වනජීවී සංචාරක ක්ෂේත්රය ජාත්යන්තරයට ප්රවර්ධනය කිරීමටත්, පරිසර සංරක්ෂණය හා සුඛෝපභෝගී සංචාරක අත්දැකීම් එකට ගෙනයාමටත් වැදගත් අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.