මීගමුවෙ පිපිරුවෙ කාලයක් ඉඳන් තිබෙන බන්ධනාගාර අවුල...
08 Jul 2026, 4:21 PM |
News |
Views: 10
මීගමුව බන්ධනාගාරයේ ලේ වැගිරීම: පුපුරා ගියේ කැරැල්ලක් නොව, දශක ගණනාවක් තිස්සේ ගොඩනැගුණු පද්ධතිමය( structural ) අර්බුදයකි...
මා දෛවයේ සරදමකින් හෝ ජීවිතයේ නියලී ඇති හැම රැකියාවකදීම , බන්දනාගාර ගතවීමට සුදුසුකම් ලද්දෙක්මි.වරක් අධිකරණ අමාත්‍යංශයේ ප්‍රජා විශෝධන නිලධාරියකු ලෙසත්, ADIC ආයතනයේ පර්යේෂණ නිලධාරියා ලෙසත්, අන්තරාය ඖෂධ (NDDCB ) හි පර්යේෂණ නිලධාරී ලෙසත්, විශ්වවිද්යාලයේදී, අපරධ විද්‍යාව උගන්වන ගුරුවරයකු ලෙසත්, බන්ධනාගාර නිලධාරීන් ඉලක්ක කරගත් ඩිප්ලෝමා දෙකක සමායෝජක ලෙසත් හැම වසරකම ලංකාවේ සිපිරි ගෙවල් හැමකකටම වගේ ගොස් තිබෙමි. එහෙයින් කිසිවක් නොලියා සිටින්ට සිත් නොදේ.
මීගමුව බන්ධනාගාරයේ මෑතදී ඇති වූ ප්‍රචණ්ඩ ගැටුමෙන් රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් ඇතුළු ජීවිත විශාල සංඛ්‍යාවක් අහිමි වීම සමස්ත ශ්‍රී ලංකාවම කම්පාවට පත් කළේය. එය අවාසනාවන්ත සිදුවීමකි. එහෙත්, මෙය හදිසියේ ඇති වූ අනපේක්ෂිත සිදුවීමක් ලෙස සැලකීම වැරදිය. එය වසර ගණනාවක් තිස්සේ නොවිසඳී පැවති බන්ධනාගාර පද්ධතියේ ගැඹුරු ව්‍යුහාත්මක ගැටලු ගොන්නක් එක් මොහොතක පුපුරා යාමක් ලෙස පෙනී යන්නේය.
අපගේ බන්ධනාගාර පද්ධතියේ බොහෝමයක් ආකෘති සහ කෘත්‍ය බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ නිර්මාණය කළ ආකෘතිය මත පදනම්ව පවතී. එහෙත් එදා සිට අද දක්වා ශ්‍රී ලංකාවේ ජනගහනය දෙගුණයකට ආසන්න ලෙස වර්ධනය වී ඇත. නාගරීකරණය, මත්ද්‍රව්‍ය ගැටලුව, සංවිධානාත්මක අපරාධ, නීතිමය වෙනස්කම් සහ සමාජ පරිවර්තනයන් හේතුවෙන් බන්ධනාගාරවලට ඇතුළත් වන රැඳවියන්ගේ සංඛ්‍යාවද, විශාල ලෙස ඉහළ ගොස් ඇත. වෙනස් වී ඇත. නමුත් බන්ධනාගාර ගොඩනැගිලි, ඉඩකඩ, කාර්ය මණ්ඩලය, පුනරුත්ථාපන වැඩසටහන්, තාක්ෂණය සහ කළමනාකරණය එම වේගයට සමාන්තරව වර්ධනය වී නොමැත්තේය.බන්ධනාගාර නොබෝ කලකින් පුපුරා යනු ඇතැයි යන්න අප මෙන්ම, නිලධාරීන්ද, ඇමැතිවරයාද නොදැන සිටියා නොවේ. ඒසී නම් ප්‍රශනය ඇත්තේ කොහිද?
අද ජාත්‍යන්තර මට්ටමින් එක්සත් ජාතීන්ගේ අවම සුභ සාධන මට්ටම්, "Nelson Mandela Rules', Bangkok Rules" සහ අනෙකුත් මානව හිමිකම් ප්‍රමිතීන් පිළිබඳ අප බොහෝ දේ කතා කරයි. එම ප්‍රමිතීන් අත්‍යවශ්‍යය. එහෙත් ප්‍රමාණවත් ගොඩනැගිලි, ප්‍රමාණවත් නිලධාරීන්, පුහුණුව, වෛද්‍ය පහසුකම්, ජලය, සනීපාරක්ෂාව සහ ආරක්ෂක යටිතල පහසුකම් නොමැති තත්ත්වයක් තුළ එම ප්‍රමිතීන් සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම අපේක්ෂා කිරීම යථාර්ථවාදී නොවේ.අප උගන්වන දෑ සහ ප්‍රයෝගික තත්වයන් අතර ඇත්තේ අහසට පොලව මෙන් පරස්පරයකි. මා දන්නා බොහෝ බන්දනාගාර නිලධාරීන් බොහෝ පීඩනයන් යටතේ වැඩ කරති. බන්ධනාගාර අධික ජනගහනය යනු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පමණක් ගැටලුවක් නොවේ. එය සමස්ත සමාජයේ සහ රාජ්‍ය පාලන පද්ධතියේ පිළිබිඹුවකි. පාසලේ සිට දේශපාලනය දක්වාත්, නීති සම්පාදකයන්ගේ සිට ක්‍රියාත්මක කරන රාජ්‍ය ආයතන දක්වාත්, පොලිසියේ සිට අධිකරණය දක්වාත්, ප්‍රාදේශීය පාලනයේ සිට මුදල් අමාත්‍යාංශය දක්වාත් විහිදී යන සම්බන්ධිත පද්ධති ජාලයක ප්‍රතිඵලයකි. එය එක් ආයතනයක් විසින් විසඳිය නොහැකි සමාජමය ගැටලුවකි................
මෙම අර්බුදයට හේතු වූ ප්‍රධාන කරුණු කිහිපයක් විශේෂයෙන් අවධානයට ලක් කරමි ...
පළමුව, ශ්‍රී ලංකාවේ බන්ධනාගාර අධික ජනගහනය පිළිබඳ දශක ගණනාවක් තිස්සේ දැන සිටියද, කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන සැලසුම් නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට අප අසමත් වී ඇත. ගැටලුව හඳුනාගෙන තිබුණද, අවශ්‍ය ප්‍රමාණයට නව පහසුකම්, නව බන්ධනාගාර හෝ විකල්ප දඬුවම් ක්‍රම නිර්මාණය කිරීම ප්‍රමාද විය.
දෙවනුව, විශාල වැටලීම් සහ විශේෂ නීති ක්‍රියාත්මක කිරීමේ මෙහෙයුම් ආරම්භ කරන විට බන්ධනාගාර පද්ධතියේ ධාරිතාව පිළිබඳ සැලසුම් ප්‍රමාණවත් නොවේ. " ඉවත්වනු" "නවතිමු", "මතට තිත", "යුක්තිය" වැනි මෙහෙයුම් හරහා දහස් ගණනක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන් රඳවා තැබීමට අවශ්‍ය ඉඩකඩ, කාර්ය මණ්ඩලය, ප්‍රවාහනය, වෛද්‍ය සේවා සහ ආරක්ෂක පද්ධති පෙර සූදානම් කළ යුතුය. එසේ නොමැති විට පීඩනය මුළුමනින්ම බන්ධනාගාර මතට පතිත වේ. මද්‍රව්‍ය පාලනය යනු දේශපාලන campaign එකකින් ඔබ්බෙහි වන දිගුකාලීන ප්‍රයත්නයක් විය යුතුබව අපි දිගින් ෆිගටම කියන්නෙමු.
තෙවනුව, බන්ධනාගාර ජනගහනය අඩු කිරීම සඳහා දැනටමත් හඳුන්වා දී ඇති විකල්ප, නීතිමය ක්‍රම ප්‍රමාණවත් ලෙස භාවිතයට නොගැනීමද බරපතළ ගැටලුවකි. සුළු වැරදි සඳහා ප්‍රජා සේවා දඬුවම්, Community Corrections වැනි ක්‍රම තිබියදීත්, ඒවා අධිකරණය, නීතිඥවරුන් සහ අදාළ ආයතන විසින් ප්‍රමාණවත් ලෙස භාවිතයට නොගැනීම නිසා බන්ධනාගාර වෙත අනවශ්‍ය පීඩනයක් එකතු වී තිබේ. 2005-2007 තරම් දශක දෙකකට මත්තෙන් විකල්ප ලෙස ඉදිරිපත් කල ලෝකයේ බොහෝ රටවල් ඉතා කදිමට යොදාගත් මේ ක්‍රමය ලංකාවේදී හෑල්ලූවට හා නොතකාහැරුණු ක්‍රමයක් බවට පත්විය. වරක් මා හම්බන්තොට ප්‍රජා විශෝධක වරයා ලෙස පත්කර යැවුණු අතර මාස 6ක් යනතුරු, ඉන් ඉවත්වී යනතුරුම එකම වරදකරුවකු හෝ ඊට නොලැබුනේය. ඉන්නට හිටින්නට පුටුවක් හෝ නැතිව ගසක් යටට වී ටයි පටියක් දමාගෙන සිටින්ට මට සිදු විය.එහි සිටි නීතිඥ වරු නඩු අඩුවෙතියි බිය වුහ.
සිව්වනුව, රාජ්‍ය නිලධාරීවාදය (bureaucracy) බොහෝ අවස්ථාවල ප්‍රතිසංස්කරණ සඳහා බාධාවක් වී ඇත. නව පුනරුත්ථාපන මධ්‍යස්ථාන පිහිටුවීම, ඉඩම් ලබා ගැනීම, ගොඩනැගිලි ඉදිකිරීම, අනුමැතිය ලබා ගැනීම සහ නව ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී නීති, චක්‍රලේඛ සහ පරිපාලන ක්‍රියාවලීන් විසින් විශාල ප්‍රමාදයක් ඇති කරයි. උදාහරණයක් දැනට පුනරුත්තපන් මණ්ඩලයේ වසරකට වැඩි කාලයක් අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයකු ලෙස , සෑම සාකච්චා වාරයකම ඉඩම්, ගොඩනැගිලි, හොයමින්, අවසර පතමින්, ලියුම් ලියමින් වෙහෙසෙන නමුත්, අරක අයිති මහවැලියට , මේකට වන සංරක්ශ්නෙන් බෑ කියනවා..ආරක්ෂක අමත්යන්ශ්යෙන් අහන්නැතුව බැහැ ...එතන වතුර නෑ ..මෙතැන් ගමේ මිනිනිස්සු කැමති නෑ ....වැනි පිළිතුරු තුල මංමුලා වී සිටින අතර අශ්වයා ඉස්තලයෙන් පැනගොස්ස්ය.
පස්වනුව, මූල්‍ය සම්පත් හිඟය නිසා අවශ්‍ය ආයෝජන සිදු නොවේ. බන්ධනාගාර යටිතල පහසුකම් බොහෝ විට ප්‍රමුඛතාව ලැබෙන රාජ්‍ය ආයෝජනයක් නොවන අතර, එහි ප්‍රතිවිපාක අවසානයේ ජීවිත අහිමි වීම දක්වා ගමන් කරයි. බන්ධනාගාර යනු ලාභ ලබන ආයතන නොවේ. බන්ධනාගාර යනු , ගෘහ නිර්මාණ ආකෘති, පරිපාලන ආකෘති, දිගුකාලීන වශයෙන් අත්හදා බලන, පර්යේෂණාගාර බඳු විය යුතුය. උදා හරණ ලෙස ලොව අත්හදා බල ඇති බන්දන්ගර ක්‍රම , ඒවායේ දුර්වලතා, නවමු මංපෙත් සොයා අප අලුත් විය යුතුය...
(Pennsylvania System (Separate System)
Auburn System (Silent/Congregate System), Irish System , Elmira Reformatory System
Borstal System
Open Prison System
Community Corrections
Restorative Justice Model
Nordic Prison Model) නමුත් තවමත් අප වැසුණු පාසල් , අතර දැමු ගොඩනගිලි සොයමින් සිටිමු.)
හයවනුව, මහජන මතය සහ ඇතැම් නිලධාරීන්ගේ ආකල්පද ප්‍රතිසංස්කරණවලට බාධාවකි. "සිරකරුවන්ට පහසුකම් ලබාදීම යනු සුඛෝපභෝගී ජීවිතයක් ලබාදීම" යන වැරදි අදහස තවමත් සමාජයේ පවතී. සර් ඕකුන්ට සැප ගන්න අපි මැරෙන්නේ මොකටද? නමුත් මානව ගෞරවය ආරක්ෂා කරන බන්ධනාගාරයක් යනු අපරාධය ප්‍රවර්ධනය කිරීමක් නොව, නැවත අපරාධයට යාම අවම කරන සමාජ ආයෝජනයකි.
හත්වනුව, මූලික පහසුකම් පිළිබඳ නොසැලකිල්ල තවමත් දක්නට ලැබේ. පිරිසිදු ජලය, සනීපාරක්ෂාව, වෛද්‍ය සේවා, මානසික සෞඛ්‍ය සේවා, ඇඳුම් සහ පෝෂණය වැනි මූලික අවශ්‍යතා ප්‍රමාණවත් නොවීම ආතතිය සහ ප්‍රචණ්ඩත්වය ඉහළ නංවයි. ජම්පරය හා තීන්ත බාල්දියෙන් ඔබ්බට අප යනු ඇත්තේ කවදාද ?
අටවනුව, සිරකරුවන් අතර ඉහලම ප්‍රතිශතය මත්ද්‍රව්‍ය භාවිතය හා සම්බන්ධ පුද්ගලයන් බව බොහෝ අධ්‍යයන පෙන්වා දෙයි.(40%-50%) ඔවුන් සියලු දෙනාම සාම්ප්‍රදායික බන්ධනාගාරවල රඳවා තැබීම වෙනුවට, වෛද්‍යමය හා සමාජමය පුනරුත්ථාපනය කේන්ද්‍ර කරගත් ප්‍රතිකාර මධ්‍යස්ථාන සංවර්ධනය කිරීම මගින් බන්ධනාගාර පද්ධතියේ පීඩනය සැලකිය යුතු ලෙස අඩු කළ හැකිය.
නවවනුව, අපරාධ වැළැක්වීම සඳහා වන ආයෝජන තවමත් අවම මට්ටමක පවතී. සමාජය අපරාධ සිදු වූ පසු ප්‍රතිචාර දක්වයි. එහෙත් පාසල්, පවුල්, ප්‍රජා සංවිධාන සහ ප්‍රාදේශීය ආයතන හරහා වැළැක්වීමේ ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීමෙන් බන්ධනාගාරවලට පැමිණෙන පුද්ගලයන්ගේ සංඛ්‍යාවම අඩු කළ හැකිය.
දහවනුව, අපරාධ යුක්ති පද්ධතිය තුළ දශක ගණනාවක් පුරා ගොඩනැගුණු සංස්කෘතික රටාවන් සහ ඇතැම් දූෂිත භාවිතයන් එක් දිනකින් වෙනස් කළ නොහැක. ප්‍රතිසංස්කරණ යනු නීති වෙනස් කිරීම පමණක් නොව, සංවිධාන සංස්කෘතිය වෙනස් කිරීමද අවශ්‍ය වේ. අපි දන්නා තරමින් , අපරාධ යුක්ති ක්‍රමයේ මුලික බලකණු තුන වන, පොලිසිය, අධිකරණය හා බන්ධනාගරය යන ව්‍යුහ තුන තුලම දුෂණයේ හෙවනැලි හොල්මන් කරන්නේය. අභ්‍යන්තර දුෂණය පිටුදැකීමේ විශාල මෙහෙයුම් අවශ්‍යය...
මෙයට අමතරව,
නඩු පමා වීම වැලැක්වීම ( මා හිතන්නේ ලංකාවේ Inquisitorial ක්‍රමය අත්හදා බැලිය යුතුය කියාය, නඩුකාර තුමන්ලා සිද්දියෙන් ඉවත්ව, සිටින තාක් එය ආගන්තුක හා යුක්තියෙන් ඔබ්බට ගිය තර්ක මතින් විසඳෙයි)
හැකි තාක් තාක්ෂණික මෙවලම් භාවිතා කිරීම, දෘශ්‍ය සාක්ෂි, vedio evidence ect
දිගු කාලයක් නඩු විභාග නොවී රක්ෂිත බන්ධනාගාරගතව සිටින පිරිස අඩු කිරීම,
රක්ෂිත බන්ධනාගාර ක්‍රමය වෙනස් කිරීම
ඩිජිටල් නඩු කළමනාකරණය,
අවදානම් මත පදනම් වූ රැඳවියන් වර්ගීකරණය,
මානසික සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීම,
බන්ධනාගාර නිලධාරීන් සඳහා අඛණ්ඩ වෘත්තීය පුහුණුව, දත්ත මත පදනම් වූ ප්‍රතිපත්ති සැලසුම් කිරීම සහ ස්වාධීන අධීක්ෂණ යාන්ත්‍රණ ශක්තිමත් කිරීමද අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ වේ.
මීගමුව සිදුවීමෙන් අප ඉගෙන ගත යුතු පාඩම වන්නේ වගකිව යුත්තෙකු සොයා දඬුවම් කිරීම පමණක් නොවේ. මෙය සමාජයක් ලෙස අපගේ ප්‍රතිපත්ති, ආයෝජන සහ ප්‍රමුඛතා නැවත සලකා බැලීමට බල කරන අනතුරු ඇඟවීමකි. බන්ධනාගාර යනු සමාජයෙන් වෙන්වූ ලෝකයක් නොවේ. ඒවා සමාජයේම ප්‍රතිබිම්බයකි. බන්ධනාගාරය තුළ ඇති අර්බුදය අවසානයේ සමාජය තුළටම නැවත පැමිණේ.
එබැවින් අද අවශ්‍ය වන්නේ තවත් එක් පරීක්ෂණ කමිටුවක් හෝ අමාත්‍ය වරයාට ඉල්ලා අස්වීමට කෙරෙන මොරගෑම් නොව, ජාතික මට්ටමේ බන්ධනාගාර හා අපරාධ යුක්ති පද්ධති ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළකි. නව ගොඩනැගිලි පමණක් නොව, නව චින්තනයක්ද අවශ්‍යය. එසේ නොවන්නේ නම් අද මීගමුවෙන් ඇසුණු වෙඩි හඬ, හෙට වෙනත් බන්ධනාගාරයකින් නැවත ඇසෙනු ඇත.