"මට රුපියල් ලක්ෂ 500ක් හොයන්න ඕන නම් කරන්න තියෙන්නේ එක කෝල් එකයි" ලාල්කාන්තගෙන් සැර පිළිතුරක්

04 Apr 2026, 4:56 PM | Politics | Views: 5

Article Image
තමා සතු ප්‍රබල 'සමාජ ප්‍රාග්ධනය' භාවිතා කරමින් ඕනෑම මොහොතක අවශ්‍ය මුදල් සපයා ගැනීමේ හැකියාව පවතින බව කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

සිය නව නිවස සහ එහි පැවැත්වූ දානමය පින්කමක් සම්බන්ධයෙන් එල්ල වන විවේචනවලට පිළිතුරු දෙමින් අන්තර්ජාල නාලිකාවක පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

පර්චස් 13ක බිම් කොටසක දීර්ඝ කාලයක් තිස්සේ මෙම නිවස ඉදිකළ බවත්, තමා එහි පදිංචියට ගියේ 2024 වසරේ අග භාගයේදී බවත් අමාත්‍යවරයා පැහැදිලි කළේය.

පසුගියදා එහි පැවැත්වුණේ සිය මියගිය දෙමාපියන් සිහිපත් කිරීමේ දානමය පින්කමක් මිස "ගෙවල් වැදීමේ" උත්සවයක් නොවන බව ද ඔහු අවධාරණය කළේය.

"මට අවශ්‍ය වුවහොත් එක් අයෙකුගෙන් ලක්ෂ 5 බැගින් පුද්ගලයන් 100 දෙනෙකුගෙන් සතියක් තුළ ලක්ෂ 500ක් හොයාගන්න පුළුවන්. ඒකට මට කරන්න තියෙන්නේ එක ෆෝන් කෝල් එකක් දෙන එක විතරයි.

ඒ තරම් විශාල සමාජ ප්‍රාග්ධනයක් මම දේශපාලනය තුළින් ගොඩනගාගෙන තියෙනවා."

සාමාන්‍ය මිනිසුන්ට මෙම සමාජ ප්‍රාග්ධනය ගණන් හදා තේරුම් ගැනීම අපහසු බවත්, දශක ගණනාවක දේශපාලන ජීවිතය තුළ තමා ගොඩනගාගත් සබඳතා මෙහි පදනම බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

තමා කිසිදු අවස්ථාවක රජයේ බදු මුදල් හෝ පක්ෂ අරමුදල් අවභාවිත කර නොමැති බව පැවසූ අමාත්‍යවරයා, තමාට එරෙහිව මෙතෙක් කිසිදු මූල්‍ය වංචා චෝදනාවක් එල්ල වී නොමැති බව ද පෙන්වා දුන්නේය.

අතීතයේ බිරිඳගේ වැටුපෙන් ජීවත් වූ බව සත්‍යයක් වුවද කාලයත් සමඟ තත්ත්වයන් වෙනස් වන බව ඔහු පැවසීය.

සිය දියණිය විදේශගතව අධ්‍යාපනය ලබන බවට පැතිර යන කටකතා අසත්‍ය බවත්, ඇය අධ්‍යාපනය ලැබුවේ ශ්‍රී ලංකාව තුළ බවත් අමාත්‍යවරයා මෙහිදී තහවුරු කළේය.

දේශපාලන ප්‍රතිවාදීන් තමා කෙරෙහි පවතින ජනප්‍රසාදය පලුදු කිරීම සඳහා මෙවැනි අසත්‍ය ප්‍රචාර පතුරවන බව ලාල්කාන්ත මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.