වික්‍රමාරච්චි ආයුර්වේද විශ්වවිද්‍යාලයේ පීඨ දෙකක් අකර්මන්‍ය වීමේ අවදානමක, අගමැතිනියගේ මැදිහත්වීම ඉල්ලා සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

03 May 2026, 3:08 PM | Politics | Views: 22

Article Image
ගම්පහ වික්‍රමාරච්චි දේශීය ආයුර්වේද විශ්වවිද්‍යාලයේ පීඨ කිහිපයක පවතින උග්‍ර අර්බුද සම්බන්ධයෙන් රජය කඩිනම් විසඳුම් ලබාදිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

එම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නියෝජිතයින් පිරිසක් විපක්ෂ නායක කාර්යාලයේදී හමුවී තමන් මුහුණ දෙන දුෂ්කරතා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු මේ බව කියා සිටියේය.

විපක්ෂ නායකවරයා පෙන්වා දෙන පරිදි විශ්වවිද්‍යාලයේ විද්‍යා හා තාක්ෂණ පීඨය සහ විද්‍යා හා කළමනාකරණ පීඨය තුළ මෙම අර්බුදකාරී තත්ත්වය උද්ගත වී ඇත.

ඊට බලපා ඇති ප්‍රධාන කරුණු මෙසේය,

* මානව හා භෞතික සම්පත්වල පවතින දැඩි හිඟය හේතුවෙන් අධ්‍යයන කටයුතු නිසි පරිදි පවත්වාගෙන යාමට නොහැකි වීම.

* මෙම ගැටලු සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය දැනුවත් කර මාස 13ක් ගතවී ඇතත් මෙතෙක් ස්ථිර විසඳුමක් ලැබී නොමැති වීම.

* පවතින අවිනිශ්චිත තත්ත්වය හේතුවෙන් සිසුන් දැඩි මානසික පීඩනයකට ලක්ව ඇති අතර, එය අධ්‍යාපනයේ ගුණාත්මක භාවයට ද දැඩි බලපෑමක් එල්ල කර තිබේ.

සිසුන්ගේ අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් වහාම ක්‍රියාත්මක විය යුතු බව පවසන සජිත් ප්‍රේමදාස මහතා රජයට පහත කරුණු යෝජනා කරයි,

* මෙම ගැටලුව තවදුරටත් කමිටු වාර්තාවලට සීමා නොකර (කමිටු සූදුව), ඊට ප්‍රායෝගික හා යථාර්ථවාදී විසඳුම් කඩිනමින් ලබා දීම.

* විසඳුම් සෙවීමේදී අදාළ ශිෂ්‍ය සංගම් සමඟ සෘජුව සාකච්ඡා කර ඔවුන්ගේ අදහස් ද සැලකිල්ලට ගැනීම.

* විෂය භාර අමාත්‍යවරිය ලෙස ගරු අග්‍රාමාත්‍යවරිය මේ සම්බන්ධයෙන් සෘජුව මැදිහත් වී සිසුන්ට යුක්තිය ඉටු කළ යුතු බව.

* පවතින සම්පත් හිඟය හමුවේ සිසුන්ගේ අනාගතය අඳුරු වීමට ඉඩ නොතබා, විධිමත් හා කාර්යක්ෂම වැඩපිළිවෙළක් හරහා විශ්වවිද්‍යාල පද්ධතිය යථා තත්ත්වයට පත් කරන ලෙස විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.