කානු බෝක්කුවලට වඩා අධ්‍යාපනය ලොකුයි - හර්ෂ ද සිල්වා තම මිලියන 10 පාසල්වලට බෙදා දෙයි

05 May 2026, 11:34 AM | Politics | Views: 1

Article Image
සාම්ප්‍රදායික යටිතල පහසුකම් සංවර්ධනයට වඩා රටේ අනාගත පරපුරේ තාක්ෂණික අධ්‍යාපනය වෙනුවෙන් ප්‍රමුඛතාව ලබා දිය යුතු බව අවධාරණය කරමින්, තමන්ට හිමි වූ රුපියල් මිලියන 10 ක විමධ්‍යගත අරමුදල කෝට්ටේ ප්‍රදේශයේ සියලුම පාසල් අතරේ බෙදා දීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පියවර ගෙන තිබේ.

කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී විදුහල්පතිවරුන් සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

රජයේ සාමාන්‍ය ක්‍රමවේදය අනුව මෙම අරමුදල් වෙන් කර තිබුණේ කානු, බෝක්කු සහ මාර්ග ප්‍රතිසංස්කරණ සඳහාය. කෙසේ වෙතත්, එම ක්‍රමවේදයට විරෝධය පළ කරමින් අදාළ රජයේ චක්‍රලේඛය පවා වෙනස් කරමින් මෙම මුදල් අධ්‍යාපන ක්ෂේත්‍රයේ දියුණුව සඳහා යෙදවීමට මන්ත්‍රීවරයා කටයුතු කර ඇත.

“කානු බෝක්කු අවශ්‍ය බව මම පිළිගන්නවා, හැබැයි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුවන වෙලාවේ ඉස්කෝලවලට අවශ්‍ය තාක්ෂණය නැත්නම් එම ප්‍රතිසංස්කරණවලින් ඵලක් නැහැ. ඒ නිසා කානු බෝක්කු කියන එක ප්‍රමුඛතා ලැයිස්තුවේ පල්ලෙහාට දමා, පාසල්වලට අවශ්‍ය තාක්ෂණික උපකරණ උඩට ගෙන ඒමට අපි තීරණය කළා” යැයි මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.

කෝට්ටේ කොට්ඨාසයේ පාසල් 17 ක 6 ශ්‍රේණියේ සිට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වුවද ඒ සඳහා අවශ්‍ය ටැබ් (Tabs), ස්මාර්ට් බෝඩ් (Smart Boards) සහ අනෙකුත් තාක්ෂණික මෙවලම්වල දැඩි හිඟයක් පවතින බව හෙළි වී ඇත. ඒ අනුව මිලියන 10 ක මුදල මෙම පාසල් 17 අතරේ සමව බෙදා දී පාසල්වලට අවශ්‍ය උපකරණ මිලදී ගැනීමට අවස්ථාව සලසා දී තිබේ. මෙය ජනතාවගේ බදු මුදල් නිසි ලෙස ආයෝජනය කිරීමක් බවද හර්ෂ ද සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියේය.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.