"මේ වසරේ මැතිවරණ තියන්න ලැබෙන්නේ නැහැ" යාපනයේදී ටිල්වින් සිල්වාගෙන් හෙළිදරව්වක්

24 May 2026, 11:36 AM | Politics | Views: 19

Article Image
පවතින ආර්ථික සහ පරිපාලනමය ගැටලු හේතුවෙන් මේ වසර තුළ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි වනු ඇති බව ජාතික ජනබලවේගයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ, ඊයේ (23) යාපනය දිස්ත්‍රික්කයේ ජාතික ජනබලවේග නව සම්බන්ධීකරණ කාර්යාලයක් විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ, මැතිවරණ සඳහා වෙන් කළ ප්‍රතිපාදන 'දිට්වා' කුණාටුවෙන් සිදු වූ හානි පියවා ගැනීම සඳහා යොදවීමට සිදුවීම මීට ප්‍රධානතම හේතුව බවයි.

"අයවැයෙන් මැතිවරණ සඳහා මුදල් වෙන් කර තිබුණ ද, දිට්වා කුණාටුවෙන් සිදු වූ හානි පියවීම සඳහා රුපියල් බිලියන 500ක මුදලක් වෙන් කිරීමට අපට සිදු වුණා. ඒ නිසා මේ වසරේ මැතිවරණ පැවැත්වීම අපහසුයි.

එමෙන්ම පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු නීතිමය රාමුව පිළිබඳව මේ වන විට පාර්ලිමේන්තු කමිටුවක් පත් කර තිබෙනවා. එම වාර්තා ලැබුණු පසු පැන නැගී ඇති ගැටලු විසඳාගෙන ලබන වසරේ මැතිවරණය පැවැත්වීමට හැකි වනු ඇතැයි අප විශ්වාස කරනවා," යනුවෙන් ඔහු සඳහන් කළේය.

පළාත් සභා මැතිවරණය කඩිනම් කරන ලෙස ඉන්දියාවෙන් බලපෑමක් සිදුවන්නේ දැයි මාධ්‍යවේදීන් විමසූ පැනයට පිළිතුරු දුන් ටිල්වින් සිල්වා මහතා, දෙරටේ ආණ්ඩු අතර ඉතා සුහදශීලී සහ අවබෝධාත්මක සම්බන්ධතාවක් පවතින බැවින් එවැනි බලපෑමක් නොමැති බව අවධාරණය කළේය.

තවද, උතුරේ ජනතාවගේ ඉඩම් නිදහස් කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය සහ ජනතාව බලගැන්වීමේ වැඩසටහන් සාර්ථකව ක්‍රියාත්මක කෙරෙමින් පවතින බවත්, ඒ පිළිබඳ ඉන්දීය රජයට මනා අවබෝධයක් ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.