'Rebuilding Sri Lanka' නමින් අරමුදලක් නෑ - භාණ්ඩාගාරයේ ගිණුමක් විතරයි!

05 Jun 2026, 7:45 PM | Politics | Views: 36

Article Image
2026 වර්ෂය සඳහා වූ ජාතික විගණන කාර්යාලයේ වාර්ෂික වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන්, විගණකාධිපතිනි සමුද්‍රිකා ජයරත්න මහත්මිය ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් විසින් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPA) දැනුවත් කර තිබේ.

මෙම විශේෂ රැස්වීම පසුගියදා (02) පාර්ලිමේන්තුවේදී පැවැත්වුණේ එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙනි.

නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, නිශාන්ත ජයවීර සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, චමිදිකා හෙට්ටිආරච්චි, ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහිදී සමෘද්ධි බැංකු විගණනය කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත. 2025 වර්ෂයට අදාළ විගණන කටයුතු නිසි පරිදි සිදුකිරීම සඳහා 2023 සහ 2024 වර්ෂවලට අදාළ විගණන ද්විත්වයම කඩිනමින් අවසන් කළ යුතු බව පැමිණ සිටි නිලධාරීහු පෙන්වා දුන්හ.

කෙසේ වෙතත්, එම විගණන කටයුතු බාහිර පාර්ශ්වයන් වෙත පැවරීම සඳහා වන ප්‍රසම්පාදන ක්‍රියාවලිය (Procurement Process) මෙතෙක් අවසන් වී නොමැති බවද නිලධාරීන් මෙහිදී අනාවරණය කළේය.

මෙම කටයුතු සඳහා මුලින් නිලධාරීන් 300කගේ පමණ අවශ්‍යතාවයක් ඇස්තමේන්තු කර තිබුණද, වසර 1 1/2ක් ඇතුළත නිලධාරීන් 200ක් බඳවා ගැනීම මේ සඳහා ප්‍රමාණවත් වන බව විගණකාධිපතිනිය සඳහන් කළාය.

සමෘද්ධි බැංකු විගණනයට අදාළව මෙතෙක් නිශ්චිත ක්‍රමවේදයක් (Framework) සකස් වී නොමැති බව නිලධාරීන් අවධාරණය කළ අතර, මේ පිළිබඳව වහාම අධ්‍යයනය කර විධිමත් ක්‍රමවේදයක යෝජනාවක් කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලෙස සභාපතිවරයා නියෝග කළේය.

රාජ්‍ය අංශයේ සයිබර් ආරක්ෂණ (Cyber Security) ක්‍රියාවලිය පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය. විගණන කටයුතු සඳහා අවශ්‍ය තොරතුරු තාක්ෂණ (IT) විශේෂඥයින් විගණන දෙපාර්තමේන්තුව සතුව නොමැති බව නිලධාරීහු පැවසූහ.

මේ හේතුවෙන්, පද්ධති විගණනයන් (System Audits) සිදුකිරීමේදී ඒ සඳහා බාහිර පාර්ශ්වයන්ගේ (External Auditors) සහාය ලබාගන්නා බව ජාතික විගණන කාර්යාලයේ නිලධාරීන් වැඩිදුරටත් කියා සිටියේය.

මීට අමතරව ආන්දෝලනාත්මක 'රි බිල්ඩින් ශ්‍රී ලංකා' (Rebuilding Sri Lanka) වැඩසටහනට අදාළ ගිණුම් සම්බන්ධයෙන්ද කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි.

එහිදී අනාවරණය වී ඇත්තේ 'Rebuilding Sri Lanka' නමින් ව්‍යවස්ථාපිත අරමුදලක් (Statutory Fund) මෙරට තුළ ක්‍රියාත්මක නොවන බවයි.
එය හුදෙක් භාණ්ඩාගාර ජ්‍යෙෂ්ඨ ලේකම්වරයා යටතේ පවතින සාමාන්‍ය ගිණුමක් පමණක් බව ජාතික විගණන කාර්යාල නිලධාරීන් පෙන්වා දුන්හ.

එමෙන්ම, එම ගිණුම මඟින් මෙතෙක් කිසිදු ආකාරයක මුදල් ගෙවීමක් හෝ මූල්‍ය ගනුදෙනුවක් සිදුකර නොමැති බවද නිලධාරීන් මෙහිදී සනාථ කර සිටියේය.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.