ඉරාන් වික්‍රමරත්න ප්‍රමුඛ කමිටුවට ICC යෙන් දැඩි බලපෑම් !

09 Jun 2026, 2:33 PM | Sports | Views: 26

Article Image
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ වහාම ප්‍රජාතන්ත්‍රවාදී පරිපාලනයක් ස්ථාපිත කිරීම පිණිස නොපමාව නිලවරණයක් කැඳවන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ශ්‍රී ලංකාවට ලිඛිතව දැඩි ලෙස දැනුම් දී ඇති බව විශ්වාසකටයුතු ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වේ.

දැනට මෙරට ක්‍රිකට් පරිපාලනය මෙහෙයවන "ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව" ජාත්‍යන්තරයෙන් තමන් වෙත එවැනි ලිපියක් ලැබුණු බව මෙතෙක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර නොමැති වුවද, උද්ගතව ඇති ජාත්‍යන්තර බලපෑම හමුවේ ඔවුන්ට වහ වහා නිලවරණයක් ප්‍රකාශයට පත් කිරීමට සිදුවනු ඇතැයි ක්‍රීඩා අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

යම් හෙයකින් ICCය කළ මෙම නිල දැනුම්දීම නොසලකා හරිමින්, අනවශ්‍ය ලෙස කල් මැරීමේ ප්‍රතිපත්තියක නිරත වීමට වත්මන් ක්‍රිකට් පරිපාලනය කටයුතු කළහොත්, ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල රැස්වීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමට හෝ දැඩි වාරණ පැනවීමට ICCය කටයුතු කිරීමේ බරපතළ අවදානමක් මතුව තිබේ.

මෙම අර්බුදයේ පසුබිම නිර්මාණය වූයේ පසුගිය කාලසීමාව තුළ සිදුවූ දේශපාලන පෙරළි ද සමඟිනි. 2025 මාර්තු 31 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල බලයට පත් වූ ශම්මි සිල්වා මහතා ප්‍රමුඛ නිලධාරී මණ්ඩලයේ දෙවසරක ධුර කාලය අවසන් වීමටත් මත්තෙන්, එනම් 2026 අප්‍රේල් 29 වැනිදා ඔවුන් හදිසියේම සිය ධුරවලින් ඉල්ලා අස්විය. එය වත්මන් රජයේ සෘජු බලපෑම මත සිදුවූවක් බව ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ ප්‍රසිද්ධ රහසක් විය.

ඉන් අනතුරුව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සිය විශේෂ බලතල උපයෝගී කරගනිමින්, ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනය සඳහා "ක්‍රිකට් පරිවර්තන කමිටුව" නමින් ඉරාන් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් අතුරු පාලන කමිටුවක් පත් කිරීමට පියවර ගත්තේය.

පොදුවේ ගත් කල, දේශපාලන අතපෙවීම් සහ රාජ්‍ය බලපෑම් මත පත්වන මෙවැනි අතුරු පරිපාලන කමිටු සමඟ කටයුතු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) කිසිසේත්ම කැමැත්තක් දක්වන්නේ නැත.

සාමාන්‍යයෙන් මාස 03කට වඩා වැඩි කාලයක් කිසිදු රටක අතුරු කමිටු පවත්වාගෙන යාම ICC ව්‍යවස්ථාව මඟින් සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.

පසුගියදා පැවැත්වුණු ICC වාර්ෂික මහා සභා රැස්වීමේදී ශ්‍රී ලංකාවට නිල ආරාධනාවක් පවා අහිමි වූයේ මෙරට තුළ ක්‍රිකට් අතුරු කමිටු පාලනයක් ක්‍රියාත්මක වීම හේතුවෙනි.

වත්මන් ක්‍රිකට් පරිවර්තන කමිටුව බලයට පත්වීමෙන් පසු ප්‍රකාශ කළේ, මෙතෙක් දැඩි විවේචනයට ලක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව (Constitution) මුළුමනින්ම වෙනස් කිරීම තමන්ගේ ප්‍රධානතම ඉලක්කය බවයි.

නමුත් ICC නියෝගය පරිදි නොපමාව නිලවරණයකට යාමට සිදුවුවහොත්, එම ව්‍යවස්ථා සංශෝධන කටයුතු නිම කිරීම සඳහා ඔවුන්ට ප්‍රමාණවත් කාලයක් ඉතිරි වේද යන්න ගැටලුවකි.

මන්ද, මෙරට පවතින වත්මන් ක්‍රීඩා රෙගුලාසිවලට අනුව නිලවරණයක් පැවැත්වීමේ මූලික වැඩකටයුතු ආරම්භ කළ දිනයේ සිට ඒ සඳහා අවම වශයෙන් දින 52ක අනිවාර්ය කාලසීමාවක් ගතවන බැවිනි.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.