මහරගම ඩිපෝවේ ඉන්ධන ජාවාරම හෙළිවේ. ප්‍රධාන කළමනාකරු ඇතුළු උසස් නිලධාරීන් 7ක් ගෙදර යවයි.

19 Oct 2026, 10:24 AM | News | Views: 4

Article Image
මෙරට පැවැති උග්‍ර ඉන්ධන අර්බුද සමයේදී මහරගම ලංගම ඩිපෝව හරහා ඉන්ධන ලීටර් 78,000ක් බාහිර පාර්ශවයන් වෙත අක්‍රමවත් ලෙස අලෙවි කිරීමේ මහා මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (SLTB) කොළඹ කලාප ප්‍රධාන ප්‍රාදේශීය කළමනාකරු ඇතුළු උසස් නිලධාරීන් 07 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ අදාළ සිදුවීමට වගකිව යුතු පහත සඳහන් නිලධාරීන්ගේ වැඩ තහනම් කර ඇති බවයි:

කොළඹ කලාපයේ ප්‍රධාන ප්‍රාදේශීය කළමනාකරු
කොළඹ කලාපයේ ප්‍රධාන ප්‍රාදේශීය ඉංජිනේරු
ප්‍රධාන ප්‍රාදේශීය කළමනාකරු (මුදල්)
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඉන්ධන පාලක
මහරගම ඩිපෝ කළමනාකරු
මහරගම ඩිපෝවේ සහකාර මෙහෙයුම් කළමනාකරු
ඉන්ධන ලිපිකරු සහ සහකාර කළමනාකරු (ඉංජිනේරු)

2022 වසරේ පැවැති දරුණු ඉන්ධන අර්බුදය හමුවේ, අත්‍යවශ්‍ය සේවා සහ මහජන ප්‍රවාහන කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා එවකට රජය විසින් ශ්‍රී ලංගම ඩිපෝ හරහා ඉන්ධන බෙදා හැරීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලදී.

කෙසේ වෙතත්, අදාළ කාලසීමාව තුළ මහරගම ඩිපෝවට ලැබුණු ඉන්ධන තොග අතුරින් ඩීසල් ලීටර් 78,000ක් පිටත පාර්ශවයන් වෙත නිකුත් කර තිබුණද, ඊට අනුරූප මුදල් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ලැබී නොමැති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මහරගම ඩිපෝවේ නිලධාරීන්ගේ පූර්ණ අනුදැනුම සහ අනුග්‍රහය මත මෙම වංචාව සිදු කර ඇති බවට ලැබුණු පැමිණිලි කිහිපයක් පදනම් කරගනිමින් ශ්‍රී ලංගම ප්‍රධාන කාර්යාලය විසින් පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලදී. එම විමර්ශන වාර්තාව මගින් අදාළ නිලධාරීන් 07 දෙනාම මෙම අක්‍රමිකතාවයට සෘජුවම වගකිව යුතු බවට නිර්දේශ කර ඇත.

මේ වන විට සිදුවෙමින් පවතින ඉදිරි කටයුතු සහ ඩිපෝවේ පාලන කටයුතු පහසු කිරීම සඳහා මහරගම ඩිපෝව වෙනුවෙන් නව කළමනාකරුවෙකු පත් කර ඇති අතර, කොළඹ කලාපයේ ප්‍රධාන කලාපීය කළමනාකරු ලෙස කලාපීය මෙහෙයුම් කළමනාකරු වෙත වැඩබැලීමේ වගකීම් පවරා තිබේ.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.