රටම අඳුරේ තැබූ විදුලි බිඳවැටීමට හේතුව හෙළිවෙයි – මෙගාවොට් 1,700ක සූර්ය බලශක්තියත් අවදානමක
20 Oct 2026, 4:07 PM |
News |
Views: 7
පසුගිය ඔක්තෝබර් 17 වැනිදා ශ්රී ලංකාව පුරා සිදුවූ දැවැන්ත විදුලි බිඳවැටීමට හේතු වූයේ නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ එක් විදුලි ජනන ඒකකයක් අක්රිය වීමත් සමඟ විදුලි පද්ධතියේ සමතුලිතතාව බිඳවැටීම බව බලශක්ති අමාත්ය කුමාර ජයකොඩි මහතා නොව, අමාත්ය අරුණ කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී ප්රකාශ කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අමාත්යාංශ ලේකම්වරයා හරහා නිල පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ද ඔහු සඳහන් කළේය.
විදුලි ඉල්ලුම අවම මට්ටමක පැවති සහ සූර්ය බලශක්ති උත්පාදනය ඉහළ මට්ටමක පැවති දිනයක අවදානම් සහගත නඩත්තු කටයුත්තක් සිදුකිරීමට තීරණය කළේ ඇයිද යන්න පිළිබඳව අදාළ නිලධාරීන්ගෙන් කරුණු විමසා ඇති බව අමාත්යවරයා පැවසීය.
විදුලිය බිඳවැටීමට පෙර පාලනය කළ හැකි මූලාශ්රවලින් මෙගාවොට් 1,137ක් ජාතික විදුලි පද්ධතියට එක්ව තිබූ අතර, එයට ගල්අඟුරු විදුලිය මෙගාවොට් 516ක් සහ ජල විදුලිය මෙගාවොට් 621ක් ඇතුළත් විය.
ඊට අමතරව ප්රධාන වශයෙන් සූර්ය බලශක්තියෙන් නිපදවන මෙගාවොට් 1,700ක පමණ විදුලි ධාරිතාවක් ද පද්ධතියට එක්ව තිබූ බව සඳහන් වේ.
නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන ඒකකයේ නඩත්තු කටයුතු අතරතුර බොයිලේරුවේ කොටසක් ගැලවී හානිවීම හේතුවෙන් එම ඒකකය ආරක්ෂිත පියවරක් ලෙස අක්රිය කිරීමට සිදුව තිබේ.
එමඟින් විදුලි පද්ධතියේ සංඛ්යාතය වේගයෙන් පහත වැටී ඇති අතර, ඊට ප්රතිචාර වශයෙන් පුනර්ජනනීය බලශක්ති පද්ධති ද අක්රිය වීමෙන් සමස්ත විදුලි ජාලය බිඳවැටුණු බව අමාත්යවරයා පැහැදිලි කළේය.
විදුලි පද්ධතියේ එක් ජනන ඒකකයක් අක්රිය වීමෙන් පමණක් සමස්ත ජාතික විදුලි ජාලය බිඳවැටීම සිදුවිය යුතු නොවන බවත්, එවැනි තත්ත්වයක් ඇතිවූයේ කෙසේද යන්න ගැඹුරින් විමර්ශනය කළ යුතු බවත් ඔහු අවධාරණය කළේය.
විදුලිය යථා තත්ත්වයට පත්කිරීම දහවල් 12.37ට කොත්මලේ බලාගාරය හරහා ආරම්භ කර තිබේ. අධි වෝල්ටීයතා සම්ප්රේෂණ ජාලය පස්වරු 4.58 වනවිට යථා තත්ත්වයට පත්කර ඇති අතර, රාත්රී 9.56 වනවිට සියලු පාරිභෝගිකයන්ට විදුලිය සැපයීම යළි ආරම්භ කර තිබේ.
රෝහල්, ජල පිරිපහදු මධ්යස්ථාන සහ ගුවන් තොටුපොළ වැනි අත්යවශ්ය ස්ථානවලට ප්රමුඛතාව ලබාදී තිබූ බව ද අමාත්යවරයා පැවසීය.
මේ අතර, විපක්ෂ මන්ත්රී රවී කරුණානායක මහතා ප්රශ්න කළේ විදුලි පද්ධතියේ හදිසි අවස්ථාවකදී භාවිත කළ හැකි අමතර ජනන ධාරිතාව වන Spinning Reserve මඟින් මෙම බිඳවැටීම වළක්වාගැනීමට නොහැකි වූයේ ඇයිද යන්නයි.
සමස්ත ජනනය මෙගාවොට් 2,870ක් වූ අවස්ථාවක සියයට 10ත් 15ත් අතර අමතර සංචිතයක් පැවතිය යුතු බවත්, එමඟින් මෙගාවොට් 175ක ජනන අඩුවීමක් පියවාගත හැකිව තිබූ බවත් ඔහු පෙන්වා දුන්නේය.
ගල්අඟුරු ප්රසම්පාදනය සම්බන්ධයෙන් මීට පෙර මතු වූ ගැටලු හා ප්රමිතියෙන් තොර ගල්අඟුරු භාවිතය මෙම හානියට හේතු වූ බවට ද කරුණානායක මහතා චෝදනා කළේය.
එමඟින් සෘජු බලාගාර හානි, රජයේ සහනාධාර සහ අධික මිලැති හදිසි ඩීසල් භාවිතය ඇතුළුව රුපියල් බිලියන 56ක ආර්ථික පාඩුවක් සිදුව ඇති බවට ද ඔහු ඇස්තමේන්තු කළේය.
කෙසේ වෙතත්, එම චෝදනා සහ පාඩු ඇස්තමේන්තුව අමාත්ය අරුණ කරුණාතිලක මහතා ප්රතික්ෂේප කළේය.
පෙර ගල්අඟුරු තොගය සැප්තැම්බර් 4 වනවිට අවසන් වී තිබූ බවත්, සැප්තැම්බර් 29 වැනිදා යළි ක්රියාත්මක කළ පළමු ජනන ඒකකය සඳහා නව ගල්අඟුරු පමණක් භාවිත කළ බවත් ඔහු පැවසීය.
තවද, වික්ටෝරියා ජල විදුලි බලාගාරයේ ධාරිතාව හදිසි විදුලි සංචිතයක් ලෙස ක්රියාත්මක වූ බව අමාත්යවරයා සඳහන් කළේය.
එහෙත් මෙගාවොට් 2,000කට ආසන්න වහල මත සවිකළ සූර්ය බලශක්ති පද්ධතිවල ඉන්වර්ටර්, විදුලි සංඛ්යාතය හර්ට්ස් 47.5 දක්වා පහත වැටෙන අවස්ථාවලදී ද ක්රියාත්මකව පැවතීමට අවශ්ය පරිදි සකස් කර නොතිබීම නිසා ඒවා අක්රිය වී ඇති බව ඔහු පැහැදිලි කළේය.
විදුලි ජාලයේ ස්ථායීතාව සහ හදිසි ජනන සංචිත පිළිබඳ EPRI අධ්යයනයේ නිර්දේශ ක්රියාත්මක කරමින් පවතින බව ද අමාත්යවරයා වැඩිදුරටත් පැවසීය.