කාවන්තිස්සගේ මරණයෙන් පසු ඉතිරි ඇත් රජුන් රැකගන්න සජිත්ගෙන් විශේෂ වැඩපිළිවෙළක්

20 Oct 2026, 3:27 PM | News | Views: 7

Article Image
කාවන්තිස්ස ඇතාගේ මරණයෙන් පසු මෙරට ඉතිරිව සිටින දළ ඇතුන් ආරක්ෂා කිරීම සඳහා විශේෂ කාර්ය සාධක බලකායක්, වනජීවී රෝහලක් සහ නවීන පශු වෛද්‍ය පහසුකම් ස්ථාපිත කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යෝජනා කර තිබේ.

අඟහරුවාදා (20) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, තුවාල ලබන වන අලින්ට කඩිනම් ප්‍රතිකාර ලබාදීම සඳහා විශේෂ හදිසි ප්‍රතිචාර ඒකකයක් ද ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව පවතින බවයි.

කාවන්තිස්ස ඇතා සම්බන්ධ සිද්ධියට අදාළව සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමේ කටයුතුවලට සම්බන්ධ වූ චතුර ගුණරත්න සහ ඔළුගලගේ නායකත්වයෙන් යුත් විමර්ශන කණ්ඩායමේ අත්දැකීම් ද ඇතුළත් කර ගනිමින් විශේෂ ඇත් ආරක්ෂණ බලකායක් පිහිටුවීමට ඔහු යෝජනා කළේය.

බරපතළ තුවාල ලබන වන සතුන්ට විශේෂිත ප්‍රතිකාර ලබාදිය හැකි වනජීවී රෝහලක්, නවීන රෝග විනිශ්චය උපකරණ, ජංගම රසායනාගාර සහ හදිසි ප්‍රතිකාර ඒකක ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව ද විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

මෙම පහසුකම් ස්ථාපිත කිරීම සඳහා විදේශීය අරමුදල් සහ අනෙකුත් සම්පත් ලබාගැනීමට විපක්ෂයේ සහාය ලබාදීමට සූදානම් බව ද ඔහු ප්‍රකාශ කළේය.
සංකීර්ණ ප්‍රතිකාර අවශ්‍ය අවස්ථාවලදී විදේශීය පශු වෛද්‍ය විශේෂඥයන්ගේ සහාය ලබාගැනීමත්, විශ්වවිද්‍යාල හා අදාළ ආයතන සමඟ සහයෝගීතාව ශක්තිමත් කිරීමත් ඔහුගේ යෝජනා අතරට ඇතුළත් විය.

වනජීවී පශු වෛද්‍යවරුන් සහ පුහුණු නිලධාරීන්ගේ හිඟය පියවීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මානව සම්පත් හා වෛද්‍ය පහසුකම් වැඩිදියුණු කළ යුතු බව ද සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එමෙන්ම, කාවන්තිස්ස ඇතාගේ මරණය පිළිබඳ විමර්ශනය කිරීමට රජය පත් කළ විශේෂඥ කමිටුවට පරිසර සංවිධාන සහ සිවිල් සමාජ නියෝජිතයන් ද ඇතුළත් කළ යුතු බව ඔහු යෝජනා කළේය.

කාවන්තිස්ස, භාතිය සහ තෙකරාජා යන ඇතුන්ගේ මරණවලින් පාඩම් ඉගෙනගෙන වන අලින්ට ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේද සහ හදිසි ප්‍රතිචාර පද්ධති වැඩිදියුණු කළ යුතු බව අවධාරණය කළ විපක්ෂ නායකවරයා, ඇතෙකු මියගිය පසු ක්‍රියාත්මක වීම වෙනුවට මරණ වළක්වාගැනීම සඳහා ප්‍රායෝගික පියවර ගත යුතු බව ද සඳහන් කළේය.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.