ශ්රී ලංකාව සහ සිංගප්පූරුව අතර AI සහ ඩිජිටල් සහයෝගීතාව ශක්තිමත් කිරීමට සාකච්ඡා
20 Oct 2026, 3:39 PM |
News |
Views: 9
කෘත්රිම බුද්ධිය (AI), ඩිජිටල් රාජ්ය යටිතල පහසුකම් සහ ඩිජිටල් පරිවර්තනය සම්බන්ධයෙන් ශ්රී ලංකාව සහ සිංගප්පූරුව අතර සහයෝගීතාව පුළුල් කිරීමේ අරමුණින් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
2026 ඔක්තෝබර් 16 වැනිදා සිංගප්පූරුවේ ගූගල් ආයතනයේදී පැවති මෙම හමුව සඳහා සිංගප්පූරු සහයෝගීතා ව්යවසාය (SCE), AI Singapore, ශ්රී ලංකා රජයේ නියෝජිතයන් සහ Connect to Care ආයතනයේ නියෝජිතයෝ එක්ව සිටියහ. මෙම හමුව සංවිධානය කිරීම සඳහා සිංගප්පූරුවේ ශ්රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පහසුකම් සලසා තිබේ.
එහිදී අදහස් දැක්වූ සිංගප්පූරුවේ ශ්රී ලංකා මහ කොමසාරිස් සෙනරත් දිසානායක මහතා, කෘත්රිම බුද්ධිය සහ ඩිජිටල් රාජ්ය යටිතල පහසුකම් ක්ෂේත්රවල ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.
2025 ජූලි මාසයේදී ශ්රී ලංකාවේ ඩිජිටල් ආර්ථික අමාත්යාංශය සහ AI Singapore අතර අත්සන් කළ කෘත්රිම බුද්ධි සහයෝගීතා අවබෝධතා ගිවිසුම පදනම් කරගනිමින්, දැනුම හුවමාරු කරගැනීම, පුහුණු අවස්ථා පුළුල් කිරීම සහ රාජ්ය සේවා කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා AI තාක්ෂණය යොදාගැනීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර තිබේ.
ජනාධිපතිවරයාගේ ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්රධාන උපදේශක සහ GovTech Sri Lanka සභාපති ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා ද මාර්ගගත ක්රමය ඔස්සේ මෙම සාකච්ඡාවට එක්විය.
AI Singapore හි SEA-LION වැඩසටහනට සිංහල භාෂාව ඇතුළත් කිරීම, ශ්රී ලංකාවේ භාෂාමය හා ජාතික අවශ්යතාවලට ගැළපෙන AI යෙදුම් පුළුල් කිරීමේ වැදගත් පියවරක් ලෙස මෙහිදී හඳුනාගෙන තිබේ.
ද්විපාර්ශ්වික ගිවිසුම යටතේ එකඟ වූ සහයෝගීතා ක්ෂේත්ර ප්රායෝගික ප්රතිඵල බවට පත්කිරීමේදී SCE ආයතනයේ කාර්යභාරය ද මෙහිදී අවධාරණය කෙරිණි.
මෙම සාකච්ඡාව ශ්රී ලංකාව සහ සිංගප්පූරුව අතර කෘත්රිම බුද්ධිය හා ඩිජිටල් ආර්ථිකය සම්බන්ධ සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම සඳහා ශ්රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ගෙන යන වැඩපිළිවෙළේ කොටසකි.