ශ්‍රී ලංකාවට රැගෙන ඒමට සූදානම් කළ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 137ක් ඉන්දියාවේදී අත්අඩංගුවට

19 Oct 2026, 12:37 PM | News | Views: 8

Article Image
ශ්‍රී ලංකාවට මුහුදු මාර්ගයෙන් රහසිගතව රැගෙන ඒමට සූදානම් කර තිබූ බවට සැක කෙරෙන අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 137ක් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දීය මුදල් අමාත්‍යාංශයට අනුව, ඔක්තෝබර් 16 සහ 17 යන දිනවල නාගපට්ටිනම් දිස්ත්‍රික්කයේ වෙරළබඩ ගම්මානයක සිදුකළ මෙහෙයුමකදී ආදායම් බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය (DRI) විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.

මත්ද්‍රව්‍ය මුහුද මැදදී වෙනත් යාත්‍රාවකට මාරු කර ශ්‍රී ලංකාවට රැගෙන ඒමට සැලසුම් කර තිබූ බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවල නීතිවිරෝධී වෙළෙඳපොළ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 100කට අධික බව සඳහන් වේ.

සෝදිසි මෙහෙයුමේදී රිදී පැහැති ආවරණ සහිත පැකට් 27ක් අඩංගු බෑග් හයක් සොයාගෙන තිබේ.
එක් පැකට්ටුවක බර කිලෝග්‍රෑම් පහක් පමණ වන අතර, ඒවායේ තිබී ඇත්තේ අධි සාන්ද්‍රණයකින් යුත් මෙතැම්ෆෙටමින් බවට සැක කෙරෙන සුදු පැහැති ස්ඵටික ද්‍රව්‍යයකි.

මීට අමතරව, මත්ද්‍රව්‍ය ජාවාරම සංවිධානය කළ බවට සැක කෙරෙන පුද්ගලයකුගේ ස්ථානයක තිබී ඉන්දීය රුපියල් ලක්ෂ 10ක මුදලක් ද අත්අඩංගුවට ගෙන ඇත. මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදාගත් බවට සැක කෙරෙන මෝටර් රථ දෙකක් සහ යතුරුපැදියක් ද නිලධාරීන් භාරයට ගෙන තිබේ.

මෙම ජාවාරම් ජාලයට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයන් සිව්දෙනකු ඉන්දියාවේ මත්ද්‍රව්‍ය සම්බන්ධ නීතිය යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

ඉන්දීය මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ, තමිල්නාඩු වෙරළබඩ කලාපයෙන් මෑත වසරවලදී සොයාගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගවලින් එකක් මෙය වන බවයි.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.