ශ්රී ලංකාවේ පළමු මගී ප්රවාහන ඩ්රෝන යානා ගුවන් ගමන නොවැම්බර් මුලදී
20 Oct 2026, 11:37 AM |
News |
Views: 6
ශ්රී ලංකාවේ විදුලි ගුවන් ප්රවාහන සේවා හඳුන්වාදීමේ නියමු ව්යාපෘතියක් යටතේ, මෙරට පළමු මගී ප්රවාහන ඩ්රෝන යානා ගුවන් ගමන නොවැම්බර් මස මුල් සතියේදී සිදුකිරීමට සැලසුම් කර තිබේ.
ඩේලි මිරර් වාර්තාවකට අනුව, සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් දමින්ද රඹුක්වැල්ල මහතා සඳහන් කර ඇත්තේ, තායිලන්තයෙන් ආනයනය කළ EHang සන්නාමයේ ආසන දෙකකින් යුත් ගුවන් යානය කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපළට පැමිණ ඇති බවයි.
මෙම පළමු ගුවන් ගමන ඔක්තෝබර් 30 හෝ 31 යන දිනවලදී හෝ නොවැම්බර් මුල් සතියේදී කොළඹ වරාය නගරයෙන් ආරම්භ කිරීමට නියමිතය.
ගමනාන්තය තීරණය කිරීම සඳහා ඔක්තෝබර් 23 වැනිදා ආරක්ෂක අමාත්යාංශය සමඟ සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇත.
අදාළ ඇමෙරිකානු සහතිකකරණ ප්රමිතීන්ට අනුව නියාමන ක්රියාපටිපාටි සම්පූර්ණ කර ඇති අතර, නවීන ගුවන් ප්රවාහන පද්ධති සඳහා දේශීය නීති සකස් කිරීම අවසන් අදියරේ පවතින බව ද වාර්තා වේ. ව්යාපෘතියේ ක්රියාත්මක කිරීමේ කටයුතු ඇගයීම සඳහා ජාත්යන්තර විශේෂඥයන්ගේ සහාය ද ලබාගැනීමට නියමිතය.
දෙවැනි ගුවන් යානා තොගය නොවැම්බර් 28 වැනිදා මෙරටට පැමිණීමට නියමිත අතර, ලබන වසරේදී මගීන් හතරත් හයත් අතර සංඛ්යාවක් ප්රවාහනය කළ හැකි විශාල යානා හඳුන්වාදීමට ද සැලසුම් කර තිබේ.
මෙම සේවාව මිනිත්තු 30කට වරක් ක්රියාත්මක කරමින් කිලෝමීටර් 20ක පමණ දුරක් ආවරණය කිරීමේ හැකියාව ද සලකා බලමින් පවතී.
විදුලි බලයෙන් ක්රියාත්මක වන මෙම යානා අඩි 400ත් 500ත් අතර උසකින් පියාසර කිරීමට අපේක්ෂිතය. ඒ සඳහා තත්කාලීන නිරීක්ෂණ පද්ධති ද භාවිත කිරීමට නියමිතය.
මෙම ගුවන් යානා ක්රියාත්මක කිරීම සඳහා ගුවන්ගත කිරීම, ගොඩබෑම, බැටරි ආරෝපණය සහ මගීන් හසුරුවීමේ පහසුකම් සහිත විශේෂ මධ්යස්ථාන (Vertiports) ස්ථාපිත කිරීම අවශ්ය වේ.
නාගරික ප්රවාහනය, සංචාරක කර්මාන්තය, හදිසි වෛද්ය සේවා සහ දුරස්ථ ප්රදේශවලට භාණ්ඩ ප්රවාහනය කිරීම සඳහා මෙම තාක්ෂණය යොදාගැනීමට බලධාරීන්ගේ අවධානය යොමුව තිබේ.
මීට අමතරව, මගී ප්රවාහන ඩ්රෝන යානා නිෂ්පාදනය කිරීමේ කර්මාන්තයක් ශ්රී ලංකාවේ ස්ථාපිත කිරීමේ හැකියාව පිළිබඳව ද සාකච්ඡා පැවැත්වෙමින් පවතින බව වාර්තාවේ සඳහන් වේ.