කොළොන්නාවේ ගංවතුර පාලන ව්යාපෘතියට රුපියල් බිලියන 15ක මුදලක්
20 Oct 2026, 5:35 PM |
News |
Views: 2
කොළොන්නාව ප්රදේශයේ ගංවතුර අවදානම අවම කිරීමේ අරමුණින් අතරමඟ නතර වූ වැසි ජලය බැසයාමේ සහ පාරිසරික වැඩිදියුණු කිරීමේ ව්යාපෘතියේ ඉතිරි කටයුතු වසර තුනක් ඇතුළත අවසන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ඒ සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් මිලියන 15,077.82කි.
2019 වසරේදී ආරම්භ කළ මෙම ව්යාපෘතිය කොවිඩ් වසංගතය සහ ඉන් අනතුරුව ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් සැලසුම් කළ පරිදි ක්රියාත්මක කිරීමට බාධා එල්ල වී තිබේ. ඒ අනුව, ඉතිරි වැඩකටයුතු සම්පූර්ණ කිරීම සඳහා නව සැලැස්මක් සහ සංශෝධිත වියදම් ඇස්තමේන්තුවක් සකස් කර ඇත.
නව සැලැස්ම යටතේ සාලලීහිණි මාවත ඇළේ ඉදිකිරීම් අවසන් කිරීම, මීටර් 3,868ක දිගින් යුත් දහම්වෙල ඇළ ඉදිකිරීම සහ ජලය රඳවා තැබීමේ පොකුණු ඉදිකිරීම ඇතුළු කටයුතු සිදු කිරීමට නියමිතය.
මීට අමතරව, මීටර් 4,475ක් දිග පස්සන්න ඇළ සහ මීටර් 650ක් දිග දඬුතොට ඇළ ප්රතිසංස්කරණය කිරීමත්, දඬුතොට සොරොව්ව අලුත්වැඩියා කිරීමත් සැලැස්මට ඇතුළත් වේ. වැසි ජලය කාර්යක්ෂමව ඉවත් කිරීම සඳහා තත්පරයකට ජලය ඝන මීටරයක් බැගින් පොම්ප කළ හැකි ජංගම පොම්ප තුනක් ද සවි කිරීමට නියමිතය.
ව්යාපෘතිය හේතුවෙන් බලපෑමට ලක්වන පවුල් සඳහා සහන සහ වන්දි ලබාදීමට ද අවධානය යොමු කර ඇති අතර, ඒ වෙනුවෙන් රුපියල් මිලියන 1,015ක මුදලක් වෙන් කිරීමට සැලසුම් කර තිබේ. ව්යාපෘතියට අවශ්ය ඉඩම් අත්පත් කර ගැනීම ද ඊට ඇතුළත්ය.
මෙම ව්යාපෘතියේ අරමුණ වන්නේ කොළොන්නාව ප්රදේශයේ වැසි ජලය බැසයාම විධිමත් කර, අධික වර්ෂාපතනය හේතුවෙන් ඇතිවන ගංවතුර අවදානම අවම කිරීමයි.