ශ්රී ලංකාවේ වන අලි ගහනය 7,000 ඉක්මවයි – අලි-මිනිස් ගැටුමට ප්රධාන හේතුවක් හෙළිවෙයි
20 Oct 2026, 6:30 PM |
News |
Views: 8
ශ්රී ලංකාවේ වන අලි ගහනය 7,000 ඉක්මවා ඇති බවත්, සීමිත භූමි ප්රමාණය හා වර්ධනය වන ජනාවාස හේතුවෙන් අලි සංරක්ෂණය අභියෝගයක් වී ඇති බවත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් එම්.එස්.එල්.ආර්.පී. රංජන් මාරසිංහ මහතා පවසයි.
රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ඔහු සඳහන් කර ඇත්තේ වන අලි වාසස්ථාන ආරක්ෂා කිරීම සහ අලි-මිනිස් ගැටුම පාලනය කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.
ආසියානු අලි ගහනය අතින් ඉන්දියාවට පසුව ශ්රී ලංකාව ඉදිරියෙන් සිටින බවත්, භූමි ප්රමාණය හා භූගෝලීය තත්ත්වයන් අනුව රටවල් අතර සෘජු සැසඳීම් කිරීම අපහසු බවත් ඔහු පෙන්වා දී තිබේ.
ශ්රී ලංකාවේ අලි ඝනත්වය ඉන්දියාවට සාපේක්ෂව දස ගුණයක් පමණ වන බව ද ඔහු සඳහන් කර ඇත.
මාර්ග පද්ධති ඉදිකිරීම සහ ඒ ආශ්රිතව ජනාවාස ව්යාප්ත වීම හේතුවෙන් අලි වාසස්ථාන කැබලිවලට බෙදී යාම අලි-මිනිස් ගැටුම වර්ධනය වීමට බලපාන ප්රධාන සාධකයක් බව ද අධ්යක්ෂ ජනරාල්වරයා පෙන්වා දී තිබේ.
එමෙන්ම, රටේ ඉහළ ජනගහන ඝනත්වය හේතුවෙන් ජනතාවගේ අවශ්යතා සපුරාලන අතරතුර වන අලි වාසස්ථාන ආරක්ෂා කිරීම ද අභියෝගාත්මක වී ඇත.
“අලි-මිනිස් ගැටුමටම විසඳුම් සෙවීමට පියවර නොගතහොත්, තනි තනි අලි සතුන් වෙනුවෙන් කොතරම් උත්සාහ කළත් මෙම ගැටලු වළක්වා ගැනීමට එය ප්රමාණවත් වන්නේ නැහැ” යනුවෙන් ඔහු අවධාරණය කර ඇත.
ඒ අනුව, තනි අලි සතුන් සම්බන්ධ සිදුවීම්වලට ප්රතිචාර දැක්වීමෙන් ඔබ්බට ගොස්, අලි-මිනිස් ගැටුමට බලපාන පාරිසරික හා මානව සාධකවලට විසඳුම් ලබාදීම අරමුණු කරගත් පුළුල් වැඩපිළිවෙළක් ක්රියාත්මක වන බව ද ඔහු සඳහන් කර තිබේ.