වසරක මෙහෙයුමකින් ලක්ෂ 3කට වැඩි පිරිසක් අත්අඩංගුවට !
20 Oct 2026, 6:46 PM |
News |
Views: 4
රට පුරා මත්ද්රව්ය ජාවාරම්, සංවිධානාත්මක අපරාධ සහ නීතිවිරෝධී ගිනිඅවි මැඩපැවැත්වීම සඳහා ක්රියාත්මක කරන “රටම එකට” මෙහෙයුම යටතේ පසුගිය වසරක කාලය තුළ සැකකරුවන් 300,218 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම කාලය තුළ ගිනිඅවි 2,500කට වැඩි ප්රමාණයක් ද සොයාගෙන ඇති බව කැබිනට් ප්රකාශක, අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළා.
2025 ඔක්තෝබර් 30 වැනිදා සිට 2026 ඔක්තෝබර් 18 වැනිදා දක්වා ක්රියාත්මක වූ මෙම මෙහෙයුමේදී මත්ද්රව්ය ජාවාරම්කරුවන් ඉලක්ක කරගනිමින් දිවයින පුරා වැටලීම් රැසක් සිදුකර තිබෙනවා.
ඒ අනුව හෙරොයින් වැටලීම් 97,074ක් සිදුකර ඇති අතර, එහිදී හෙරොයින් කිලෝග්රෑම් 2,485.1ක් සොයාගෙන තිබෙනවා. අයිස් මත්ද්රව්ය සම්බන්ධයෙන් සිදුකළ වැටලීම් 18,710කින් අත්අඩංගුවට ගත් අයිස් ප්රමාණය කිලෝග්රෑම් 3,302.07ක්.
එමෙන්ම කොකේන් කිලෝග්රෑම් 297.1ක් සහ ගංජා කිලෝග්රෑම් 11,146ක් සොයාගෙන ඇති බව සඳහන්. ගංජා පැළ මිලියන 16.7ක් ද මෙම මෙහෙයුම්වලදී සොයාගෙන තිබෙනවා.
මීට අමතරව කුෂ් කිලෝග්රෑම් 1,723ක්, හෂීෂ් කිලෝග්රෑම් 416ක් සහ මත්ද්රව්ය අඩංගු පෙති මිලියන 4.5ක් ඇතුළු මත්ද්රව්ය තොග රැසක් නීතියේ රැහැනට හසුකරගෙන තිබෙනවා.
අමාත්යවරයා සඳහන් කළේ මෙම කාලය තුළ පුද්ගලයන් 449 දෙනෙකුගේ නීතිවිරෝධී වත්කම් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි. සැකකරුවන් 3,749 දෙනෙකුට එරෙහිව රඳවා තබා ගැනීමේ නියෝග ලබාගෙන ඇති අතර, තවත් පුද්ගලයන් 2,580 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමුකර තිබෙනවා.
ගිනිඅවි සම්බන්ධයෙන් හෙළි වූ තොරතුරු
2026 ජනවාරි 1 වැනිදා සිට ඔක්තෝබර් 15 වැනිදා දක්වා කාලය තුළ ටී-56 ගිනිඅවි 16ක්, පිස්තෝල 42ක්, රිවෝල්වර 28ක් සහ වෙනත් ගිනිඅවි 901ක් ඇතුළුව ගිනිඅවි 987ක් සොයාගෙන ඇති බව අමාත්යවරයා ප්රකාශ කළා.
එමෙන්ම 2025 වසරේදී පමණක් ටී-56 ගිනිඅවි 74ක් සහ පිස්තෝල 90ක් ඇතුළුව ගිනිඅවි 2,604ක් සොයාගෙන තිබෙනවා.
මෙම සංඛ්යාලේඛන මගින් මත්ද්රව්ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීමේ මෙහෙයුමේ විශාලත්වය පෙන්නුම් කරන බව අමාත්යවරයා සඳහන් කළා. නීතිවිරෝධී ගිනිඅවි සොයාගැනීම, අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම, අපරාධවලින් උපයාගත් වත්කම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සහ මත්ද්රව්යවලට සම්බන්ධ පුද්ගලයන් පුනරුත්ථාපනය කිරීම ඉදිරියටත් සිදුකරන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.