පොලිසියට අලුතින් වාහන 200ක් ! එක් වාහනයක මිලත් හෙළි වෙයි
20 Oct 2026, 7:00 PM |
News |
Views: 2
ශ්රී ලංකා පොලිසියේ රාජකාරි කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් තනි කැබ් රථ 200ක් මිලදී ගැනීම සඳහා අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
2026 පෙබරවාරි 23 වැනිදා පැවති අමාත්ය මණ්ඩල රැස්වීමේදී ගත් තීරණයකට අනුව මෙම මිලදී ගැනීම සිදුකිරීමට නියමිතයි.
මෙම වාහන මිලදී ගැනීම සඳහා ජාතික තරගකාරී ලංසු කැඳවීමේ ක්රමවේදය යටතේ ටෙන්ඩර් කැඳවා තිබූ අතර, ඒ සඳහා දේශීය සැපයුම්කරුවන්ගෙන් ලංසු හතක් ඉදිරිපත් වී තිබෙනවා.
ඉදිරිපත් වූ ලංසු ඇගයීමෙන් අනතුරුව, අඩුම මිල ඉදිරිපත් කළ සහ අවශ්ය සුදුසුකම් සපුරා ඇති සැපයුම්කරු ලෙස ඩීසල් ඇන්ඩ් මෝටර් ඉංජිනියරින් පීඑල්සී (DIMO) සමාගම තෝරාගෙන ඇති බව කැබිනට් ප්රකාශක අමාත්ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළා.
ඒ අනුව, ටාටා යෝධා (TATA Yodha) වර්ගයේ තනි කැබ් පිකප් රථ 200ක් ශ්රී ලංකා පොලිසිය වෙත ලබාගැනීමට නියමිතයි.
එක් වාහනයක් සඳහා වැට් බදු රහිතව රුපියල් 4,785,000ක මුදලක් වැය වන අතර, මෙම යෝජනාව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්යවරයා විසින් ඉදිරිපත් කර තිබෙනවා.
මෙම මිල ගණන් අනුව වාහන 200 සඳහා වැට් බදු රහිත මුළු වටිනාකම රුපියල් මිලියන 957ක් වනවා. වැට් බදු ඇතුළත් අවසන් පිරිවැය පිළිබඳ තොරතුරු මෙහි සඳහන් කර නැහැ.
දිවයින පුරා පොලිස් රාජකාරි සඳහා මෙම වාහන යොදාගැනීමට නියමිත අතර, ඒ හරහා පොලිස් මෙහෙයුම් සඳහා අවශ්ය ප්රවාහන පහසුකම් ශක්තිමත් කිරීම අපේක්ෂා කෙරෙනවා.