සෞඛ්‍ය ක්ෂේත්‍රය උණුසුම් වෙයි

04 Apr 2026, 12:59 PM | News | Views: 5

Article Image
"පුළුවන් නම් අපව ඉවත් කර පෙන්වන්න" GMOA ඇමතිට අභියෝග කරයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් සංවිධානය කරනු ලබන දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද (04) පෙරවරු 8.00 සිට ආරම්භ කර තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා මේ බව තහවුරු කළේය.

වර්ජනය ක්‍රියාත්මක වුවද, රෝගී සත්කාරක සේවා අවම මට්ටමකින් පවත්වාගෙන යාම සඳහා විශේෂ අවධානයක් යොමු කර ඇති බව වෛද්‍ය සංගමය පවසයි.

ඒ අනුව පහත රෝහල් මෙම වර්ජනයට සම්බන්ධ කර නොගැනීමට තීරණය කර ඇත.

* ළමා රෝහල්
* මාතෘ රෝහල්
* පිළිකා රෝහල්
* වකුගඩු රෝහල්
* මානසික සෞඛ්‍ය විද්‍යායතන

කෙසේ වෙතත්, ඉහත සඳහන් රෝහල් හැර දිවයින පුරා පිහිටි සෙසු සියලුම රෝහල් ආවරණය වන පරිදි වෛද්‍යවරුන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එක්වන බව වෛද්‍ය සුගතදාස මහතා වැඩිදුරටත් කියා සිටියේය.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයින් අද දහවල් 12 වන විට සේවයෙන් ඉවත් කරන බවට අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සිදුකළ ප්‍රකාශය දැඩි විවේචනයට ලක් කරමින් GMOA ලේකම්වරයා සෘජු අභියෝගයක් ද එල්ල කළේය.

"අමාත්‍යවරයා පවසා තිබුණා අද දහවල් 12 වන විට සෞඛ්‍ය වෘත්තිකයින්ව රැකියාවෙන් ඉවත් කරන බව.
අපි අභියෝග කරනවා ඒ ප්‍රකාශය ක්‍රියාවට නංවා පෙන්වන්න කියලා."

අමාත්‍යවරයාගේ ප්‍රකාශ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා, වැරදි තීන්දු තීරණ ගැනීම සම්බන්ධයෙන් අමාත්‍යවරයාට දැඩි අනතුරු ඇඟවීමක් ද සිදු කළේය.

"ඔබව කවුරුන් හෝ නොමඟ යවනවා විය හැකියි.
වැරදි තීන්දු තීරණ ගෙන ඉතිහාසයේ කුණු කූඩයට වැටුණු සෞඛ්‍ය ඇමතිවරුන් ඕනෑතරම් ඉන්නවා.
ඔබගේ නමත් ඒ කළු ලේඛනයට ඇතුළත් කරගන්න උත්සාහ කරන්න එපා කියලා අපි මතක් කරනවා."

මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් රෝහල් රැසක බාහිර රෝගී අංශයේ කටයුතුවලට බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.