"කෝටි 46ක වත්කම් කතාව බොරුවක්!" හිරු නාලිකාවට ඇමති ලාල්ගෙන් එන්තරවාසියක් !

18 Apr 2026, 3:17 PM | News | Views: 4

Article Image
තම වත්කම් සම්බන්ධයෙන් අසත්‍ය සහ ද්වේශසහගත පුවතක් ප්‍රචාරය කළ බව පවසමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා හිරු රූපවාහිනී නාලිකාවට එරෙහිව රුපියල් බිලියන 10ක වන්දි ඉල්ලා එන්තරවාසියක් යොමු කර තිබේ.

අමාත්‍යවරයාගේ වත්කම් හා බැරකම් ප්‍රකාශයක් වැරදි ලෙස අර්ථකථනය කරමින් සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මෙම නෛතික පියවර ගෙන ඇත.

2026 අප්‍රේල් 16 වන දින ප්‍රචාරය වූ පුවතක අමාත්‍යවරයා සතුව රුපියල් කෝටි 46ක වත්කම් ඇති බවත්, පුද්ගලික ආයතනවල රුපියල් කෝටි 38කට අධික සුරකුම්පත් පවතින බවත් සඳහන් කර තිබුණි.

නමුත් අමාත්‍යවරයාගේ දියණිය සතු රුපියල් 143,000ක වටිනාකමින් යුත් කොටස් ප්‍රමාණයක්, සාවද්‍ය ලෙස රුපියල් කෝටි 38ක් ලෙස නාලිකාව විසින් හුවා දක්වා ඇති බව එන්තරවාසියෙහි පෙන්වා දෙයි.

මෙම පුවත ප්‍රචාරය කිරීමට පෙර තමාගෙන් කිසිදු විමසීමක් නොකළ බවත්, තමන් දෙබිඩි ජීවිතයක් ගත කරන්නෙකු ලෙස සමාජගත කරමින් අපහාස කිරීමට මෙය හිතාමතාම කළ දෙයක් බවත් අමාත්‍යවරයා චෝදනා කරයි.

පොදු දේපළක් වන විකාශන සංඛ්‍යාත පුද්ගලික දේශපාලන අරමුණු සඳහා අවභාවිත කරන බැවින්, අදාළ නාලිකාවේ බලපත්‍රය අවලංගු කිරීමට කටයුතු කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද එහි සඳහන් වේ.

දින හතක් ඇතුළත අදාළ වන්දිය නොගෙවන්නේ නම්, නෛතික පොලිය සහ නඩු ගාස්තුද සහිතව වන්දිය අය කර ගැනීමට අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.