අනුරාධපුර දැරියගේ සිද්ධිය ගැන ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් විශේෂ නිවේදනයක්

16 May 2026, 11:49 AM | News | Views: 22

Article Image
මෑත දිනවල මහත් ආන්දෝලනයට ලක්ව ඇති අනුරාධපුර ප්‍රදේශයේ බාලවයස්කාර දැරියකට සිදුවූ ළමා අපයෝජන සිද්ධිය සම්බන්ධයෙන් නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වන බව සහතික කිරීමට තමන් අඛණ්ඩව මැදිහත් වන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නිවේදනය කරයි.
එම අධිකාරිය සඳහන් කරන්නේ සිද්ධිය වාර්තා වූ දින සිටම මේ පිළිබඳ නියාමන කටයුතු සිදුකරන අතර, දැරියගේ අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි සහ ඇයට යුක්තිය ඉටුවන පරිදි විමර්ශන කටයුතු සිදුවන්නේදැයි විමසිල්ලෙන් පසුවන බවයි.
දැරියගේ අයිතිවාසිකම් සහ නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත මේ දක්වා කිසිදු පාර්ශ්වයකින් බලපෑමක් එල්ල වී නොමැති බව එම නිවේදනයේ අවධාරණය කර ඇත. අධිකාරිය පවසන්නේ විමර්ශන සම්බන්ධයෙන් ඉදිරි පියවර නිරන්තරයෙන් නියාමනය කරන බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් හෝ මහජන කැළඹීමක් ඇති කර නොගන්නා ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සිවිල් පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියි. එවැනි අනවශ්‍ය කැළඹීම් ඇතිවීම යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට බාධාවක් විය හැකි බව එම අධිකාරිය පෙන්වා දෙයි.
අපයෝජනයට ලක්වූ දැරිය මේ වන විට විශේෂ රැකවරණ මධ්‍යස්ථානයක ඉතාම සුරක්ෂිතව රඳවා සිටින අතර ඇයගේ ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කර ඇත. ළමයින් හිංසනයෙන් ආරක්ෂා කිරීම සැමගේ වගකීමක් බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.