ශ්‍රීලංකන් ගුවන් සේවයේ නවතම නිවේදනය

17 May 2026, 10:34 AM | News | Views: 24

Article Image
ශ්‍රීලංකන් ගුවන් සේවයට අදාළව විදේශීය රටවල් දෙකකදී සිදුවූ මූල්‍ය වංචා සහ අක්‍රමිකතා දෙකක් සම්බන්ධයෙන් එම ගුවන් සේවය නිල නිවේදනයක් නිකුත් කරමින් කරුණු පැහැදිලි කර තිබේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) සේවා සම්පාදකයෙකුගේ ඊමේල් ගිණුමක් හැක් කිරීම සහ ඉන්දියාවේ චෙන්නායි කාර්යාලයේ සිදුවූ මුදල් අවභාවිතයක් මෙසේ හෙළි වී ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි සේවා සම්පාදකයෙකු වෙත ගෙවිය යුතු ඩිරාම් 974,000 ක (රුපියල් මිලියන 80 කට අධික) මුදලක් සම්බන්ධයෙන් මෙම අර්බුදය හටගෙන ඇත. අදාළ සමාගම තමන්ට මුදල් ලැබී නොමැති බව දැනුම් දීමෙන් පසු සිදුකළ සොයාබැලීම් වලදී අනාවරණය වී ඇත්තේ කිසියම් තෙවන පාර්ශවයක් විසින් එම සමාගමේ නිල ඊමේල් ගිණුමට අනවසරයෙන් ඇතුළු වී බැංකු ගිණුම් තොරතුරු වෙනස් කර ඇති බවයි.

වංචාකරුවන් විසින් නිල සන්නිවේදන නාලිකා සහ බලයලත් අත්සන් සහිත ව්‍යාජ ලිපිලේඛන ඉදිරිපත් කරමින් ශ්‍රීලංකන් ගුවන් සේවය නොමඟ යවා ඇති බවත්, මෙම තත්ත්වය සේවා සම්පාදකයාගේ පද්ධතියේ පවතින අනාරක්ෂිත බව නිසා සිදුවූවක් බැවින් ඒ පිළිබඳ වගකීම තමන් භාර නොගන්නා බවත් ශ්‍රීලංකන් ගුවන් සේවය අවධාරණය කරයි.

මේ අතර, ඉන්දියාවේ චෙන්නායි නුවර පිහිටි ශ්‍රීලංකන් ගුවන් සේවා කාර්යාලයේ මූල්‍ය අංශයේ සේවය කළ ඉන්දීය ජාතික සේවකයින් පිරිසක් විසින් ඉන්දීය රුපියල් මිලියන 22 ක (ශ්‍රී ලංකා රුපියල් මිලියන 80 කට අධික) මුදලක් අවභාවිතා කර ඇති බව අනාවරණය වී තිබේ.

දීර්ඝ කාලයක් තිස්සේ ඉන්වොයිසි, ගෙවීම් තොරතුරු සහ අත්සන් වංචනික ලෙස වෙනස් කරමින් මොවුන් මෙම මංකොල්ලය සිදුකර ඇත. කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලයට ඇතිවූ සැකය මත සිදුකළ අභ්‍යන්තර පරීක්ෂණයකින් පසු අදාළ සේවකයින් සේවයට වාර්තා කිරීම පැහැර හැර පලා ගොස් ඇති බව වාර්තා වේ.

මෙම සිදුවීම් දෙක සම්බන්ධයෙන්ම ශ්‍රී ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID), එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලධාරීන් සහ ඉන්දීය නීති ක්‍රියාත්මක කරන ආයතන දැනුවත් කර ඇති අතර, විමර්ශන කටයුතු මේ වන විටත් ක්‍රියාත්මක වේ. සිදුවූ අලාභය පියවා ගැනීමටත්, වගකිව යුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමටත් ශ්‍රීලංකන් ගුවන් සේවය කටයුතු කරමින් සිටියි.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.