ශ්‍රී ලංකාව සහ පොදුරාජ්‍ය මණ්ඩලය අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරේ

22 May 2026, 4:40 PM | International | Views: 26

Article Image
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරිය අතර ලන්ඩනයේදී විශේෂ හමුවක්

2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ඉගෙනුම් (COL) පාලක මණ්ඩලයේ 43 වන සැසියට සහභාගී වීම සඳහා එක්සත් රාජධානියේ නිල සංචාරයක නිරත වන ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ පොදුරාජ්‍ය මණ්ඩලීය ජාතීන්ගේ මහලේකම් ෂර්ලි අයෝකෝ බොච්වේ (Shirley Ayorkor Botchwey) මහත්මිය අතර විශේෂ හමුවක් පසුගිය මැයි 21 වැනිදා පැවැත්විණි.

ලන්ඩන් නුවර පිහිටි මාල්බරෝ (Marlborough) මන්දිරයේදී මෙම හමුව සංවිධානය කර තිබුණි.

මෙම නිල සාකච්ඡාවේදී, පොදුරාජ්‍ය මණ්ඩලීය රාමුව තුළ දෙපාර්ශ්වය අතර පවතින සබඳතා තවදුරටත් තර කර ගැනීම මෙන්ම අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු රැසක් පිළිබඳව පුළුල් ලෙස අදහස් හුවමාරු කර ගන්නා ලදී.

ශ්‍රී ලංකාව වෙත පොදුරාජ්‍ය මණ්ඩලයෙන් හිමිවන අඛණ්ඩ සහයෝගය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරිය එහිදී සිය විශේෂ කෘතවේදීත්වය පළ කළාය.

තවද, පොදුරාජ්‍ය මණ්ඩලයේ කාර්යභාරය සහ එහි සඵලදායීතාව ඉහළ නැංවීම උදෙසා මහලේකම්වරිය ලබාදෙන විශිෂ්ට නායකත්වය ද ඇයගේ ඇගයීමට ලක් විය.

සාකච්ඡාවේදී අවධානය යොමු වූ ප්‍රධාන අංශ,

* දේශගුණික විපර්යාස සහ දේශගුණික මූල්‍යකරණය
* ප්‍රජාතන්ත්‍රවාදී පාලන ව්‍යුහයන් ශක්තිමත් කිරීම
* කාන්තා දේශපාලන සහභාගීත්වය ප්‍රවර්ධනය කිරීම
* සාමාජික රටවල් සඳහා පොදුරාජ්‍ය මණ්ඩලයීය සහයෝගය පුළුල් කිරීම

මෙහිදී අදහස් දැක්වූ අගමැතිවරිය, තිරසාර සංවර්ධනය, ඇතුළත් පාලනය (Inclusive governance) සහ රටේ පවතින ඔරොත්තු දීමේ හැකියාව (Resilience) ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකාව තුළ ඇති කැපවීම යළිත් වරක් අවධාරණය කළාය.

ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන්මඟ සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය, මානව සම්පත් සංවර්ධන වැඩසටහන්, දේශගුණික මූල්‍යකරණය මෙන්ම මැතිවරණ පාලනය වැනි අංශයන්හි සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට පොදුරාජ්‍ය මණ්ඩලය සූදානම් බව මහලේකම්වරිය මෙහිදී සහතික විය.

ගෝලීය අභියෝග ජය ගැනීම සඳහා සාමාජික රටවල් අතර සහයෝගීතාවයේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වූ අතර, ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය වැඩසටහන් පිළිබඳව ද දෙපාර්ශ්වය අදහස් බෙදා ගත්හ.
මෙම සුවිශේෂී හමුව සඳහා එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් නිමල් සේනාධීර මහතා ඇතුළු මහකොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද අග්‍රාමාත්‍යවරිය සමඟ එක්ව සිටියහ.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.