පසුගිය වසරට වඩා රෝගීන් 10,000ක දැවැන්ත වැඩිවීමක්, 50%ක්ම බස්නාහිරින්!

06 Jun 2026, 10:47 AM | News | Views: 25

Article Image
දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත දින 03 ක විශේෂ මදුරු මර්දන ජාතික වැඩසටහන නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සහ පසුගිය වෙසක් උත්සව සමයේ සිදු වූ මාර්ග අනතුරු පිළිබඳ විශේෂ සමාලෝචනයක් පැවැත්වීම වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ඊයේ (05) විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණි.

මෙම මාධ්‍ය හමුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ‘සුවසිරිපාය’ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

ලැබෙන ජුනි මස 08, 09 සහ 10 යන දින තුන (3) ‘විශේෂ මදුරු මර්දන දින’ ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව මෙහිදී මාධ්‍ය වෙත දැනුම් දුන්නේය.

එම දිනවල ක්‍රියාත්මක වන විශේෂ මදුරු මර්දන වැඩපිළිවෙළවල් සහ ක්‍රියාකාරකම් කෙරෙහි ජනතාවගේ දැඩි අවධානය යොමු විය යුතු බව ද සෞඛ්‍ය අංශ අවධාරණය කළහ.

මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා රටේ පවතින ඩෙංගු අවදානම පිළිබඳව නවතම තොරතුරු අනාවරණය කළේය. ඔහු කියා සිටියේ ඩෙංගු රෝගී තත්ත්වය මෙම වසර පුරාම අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරන බවයි.

පසුගිය 2025 වසර සමඟ සංසන්දනය කිරීමේදී අද වන විට රෝගීන් 10,000 ක පමණ පැහැදිලි වැඩිවීමක් දක්නට ලැබේ.

මෑතකදී ඇති වූ ස්වභාවික ව්‍යසනයන් සමඟ පරිසරය අපවිත්‍ර වීම (කසළ තත්ත්වය) සහ වර්ෂාව අධික ලෙස වැඩිවීම මීට සෘජුවම බලපා ඇත.

2026 ජනවාරි 01 සිට මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 35,300 ක් පමණ වාර්තා වී තිබේ.

සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් සියයට 50 ක්ම (50%) වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වීම විශේෂත්වයකි.

පවතින මෙම බරපතළ සෞඛ්‍ය හා අනතුරු අවදානම් තත්ත්වයන් පිළිබඳව සමස්ත මහජනතාව මීට වඩා දැඩි අවධානයක් සහ වගකීමක් යොමු කරමින් කටයුතු කළ යුතු බව සෞඛ්‍ය බලධාරීන් මෙහිදී වැඩිදුරටත් ඉල්ලා සිටියහ.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.