CIDය ඇතුළේ උපවාස කළ හිටපු බුද්ධි ප්‍රධානියා දැඩි සත්කාර ඒකකයට !

08 Jun 2026, 10:17 AM | News | Views: 28

Article Image
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) රැඳවුම් භාරයේ පසුවෙමින් මාරාන්තික ආහාර වර්ජනයක නිරතව සිටි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා, අද (07) හදිසියේම කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

රෝහල් ආරංචි මාර්ග තහවුරු කරන පරිදි, සේවා කාලය තුළ ඇති වූ බරපතළ සෞඛ්‍ය සංකූලතා හේතුවෙන් ඒ මහතාව මීට සුළු මොහොතකට පෙර ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය (ICU) වෙත ඇතුළත් කර ඇත.

පාස්කු ඉරුදින එල්ල වූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට ඉකුත් පෙබරවාරි 25 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සුරේෂ් සලේ මහතා, එතැන් පටන් රැඳවුම් නියෝග මත එම දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටියේය.

එහිදී තමන්ට එල්ල වන කෘෘර සහ අමානුෂික වදහිංසාවලට විරෝධය පළ කරමින් ඔහු CID මූලස්ථානය තුළම මෙම උපවාසය ආරම්භ කර තිබුණි.

මේ අතර, තමන්ගේ මරණය ඉතා ආසන්න බව හැඟෙන බැවින් සිය දෑස් දන්දීමට (Eye Donation) සහ අවසන් කැමැති පත්‍රය (Last Will) සකස් කිරීමට අවශ්‍ය ලිපිලේඛන රැගෙන කඩිනමින් එන්නැයි සුරේෂ් සලේ මහතා තමන් වෙත හදිසි පණිවිඩයක් එවූ බව ඔහුගේ නීතිඥවරුන් අද (07) මාධ්‍ය වෙත අනාවරණය කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා වෙත විශේෂ ලිපියක් යොමුකරමින් සලේ මහතාගේ නීතිඥවරයා පවසා ඇත්තේ, අවසන් කැමැති පත්‍රය නිසි පරිදි සැකසීම සඳහා නීතිඥ කණ්ඩායමට වහාම සලේ මහතා හමුවීමට අවස්ථාව සලසා දෙන ලෙසයි.

එසේම, එම ලිපිය මඟින් සලේ මහතාව සියලු පහසුකම් සහිත රෝහලකට යොමුකරන ලෙසත්, ස්වාධීන වෛද්‍ය කණ්ඩායමක් (Independent Medical Board) මඟින් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය වහාම විනිශ්චය කරන ලෙසත් ඉල්ලා තිබුණි.

මෙවන් බරපතළ පසුබිමක, සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් පොලිස්පතිවරයා (IGP) වෙත ලිඛිත පැමිණිල්ලක් ද යොමුකර තිබේ.

තම ස්වාමි පුරුෂයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී සිදුව ඇති බව පැවසෙන කෘෘර, අමානුෂික සහ අවමන් සහගත සැලකීම් මෙන්ම හිතාමතාම වෛද්‍ය ප්‍රතිකාර ලබානොදීම් ඇතුළු කරුණු පිළිබඳ වහාම ස්වාධීන අපරාධ පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ඇය එමඟින් ඉල්ලා සිටියි.

* පැමිණිල්ලේ අන්තර්ගතය
සලේ මහතාට ප්‍රමාණවත් තරම් ආහාර ලබානොදෙන බවත්, රාත්‍රි 10න් පසුව වැසිකිළි පහසුකම් භාවිත කිරීමට පවා CID නිලධාරීන් අවසර ලබා දී නොමැති බවත් එහි සඳහන් වේ.

* JMO වාර්තාව
මෙම අමානුෂික ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස තම සැමියාට දරුණු මලබද්ධ තත්ත්වයක් සහ විවිධ බරපතළ ශාරීරික සංකූලතා මතුව ඇති බවත්, එය රජයේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා (JMO) නිකුත් කළ නිල වෛද්‍ය වාර්තාවේද පැහැදිලිවම සඳහන්ව ඇති බවත් මනෝරි සලේ මහත්මිය වැඩිදුරටත් පෙන්වා දෙයි.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.