වසරකට වැඩි කාලයක් තිස්සේ හිරවෙලා තිබුණු වාහන අංක තහඩු මුද්‍රණය අද සිට යළි ඇරඹෙයි!

08 Jun 2026, 6:28 PM | News | Views: 33

Article Image
විවිධ හේතූන් මත වසරකට වැඩි කාලසීමාවක් තිස්සේ සම්පූර්ණයෙන්ම නවතා දමා තිබූ මෙරට වාහන අංක තහඩු මුද්‍රණය කිරීමේ කටයුතු අද (08) පෙරවරුවේ සිට නිල වශයෙන් යළි ආරම්භ කර තිබේ.

ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන්, වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (DMT) මෝටර් වාහන පරීක්ෂා කිරීමේ හා පුහුණු කිරීමේ මධ්‍යස්ථානයේ ස්ථාපිත කර ඇති විශේෂ මුද්‍රණ අංශයේදී මෙම කටයුතු ආරම්භ කෙරිණි.

දීර්ඝ කාලයක් තිස්සේ, එනම් වසර 22 ක් පුරා මෙරට වාහන අංක තහඩු මුද්‍රණය කිරීමේ ඒකාධිකාරය හිමිකරගෙන සිටි පෞද්ගලික සමාගමේ නිල කොන්ත්‍රාත් කාලය පසුගිය වසරේ අප්‍රේල් මාසයෙන් අවසන් වීමත් සමඟ මෙම මුද්‍රණ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට සිදුව තිබුණි.

අංක තහඩු මුද්‍රණය කිරීම සඳහා වඩාත් සුදුසු නව ආයතනයක් තෝරාගැනීම වෙනුවෙන් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය විසින් විධිමත් හා විනිවිදභාවයකින් යුත් ප්‍රසම්පාදන (Tender) ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරනු ලැබීය.

ඒ අනුව, රාජ්‍ය තාක්ෂණික කමිටු ඇගයීම්වලින් ඉහළින්ම සමත් වූ 'සවුත් ඒෂියන් ටෙක්නොලොජි' (South Asian Technologies) සමාගම මේ සඳහා සුදුසුකම් ලබා ඇති අතර, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සමඟ ඇති කරගත් නව ගිවිසුම් ප්‍රකාරව මෙම අංක තහඩු මුද්‍රණ කටයුතු අද සිට යළි ක්‍රියාත්මක වේ.

ඒ අනුව යතුරු පැදි, ත්‍රිරෝද රථ, මෝටර් රථ, වෑන් රථ සහ බස් රථ ඇතුළු දිවයිනේ ධාවනය වන සියලුම වාහන කාණ්ඩයන්ට අදාළ අංක තහඩු මුද්‍රණය කිරීමේ කටයුතු අද දින සිට ඉතා කඩිනම් කිරීමට පියවර ගෙන ඇත.

මෙම සමාරම්භක අවස්ථාවට එක්වූ ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ පැවසීය,

"අපි ඉතාමත් විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් තුළ තාක්ෂණික කමිටු ඇගයීම්වලට මුල්තැන දෙමින් තමයි මෙම නව ආයතනය තෝරා ගත්තේ. ඒ නිසා මින් ඉදිරියට ඉතාමත් ප්‍රමිතිගතව වාහන අංක තහඩු මුද්‍රණය කිරීමට අවශ්‍ය සියලු පියවර ගෙන තිබෙනවා. පසුගිය කාලයේ මුද්‍රණය නොකර ගොඩගැසී තිබූ අංක තහඩු ප්‍රමාණයත්, දෛනිකව අලුතින් ලියාපදිංචි වන සියලුම වාහන සඳහාත් හිඟයකින් තොරව අංක තහඩු මුද්‍රණය කර ලබාදීමට අපි කටයුතු කරනවා."

මීට අමතරව මහජනතාවගේ පහසුව උදෙසා නව තාක්ෂණික ක්‍රමවේදයක් ද හඳුන්වා දී ඇති බව අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව, අදාළ වාහන හිමියාගේ අංක තහඩුවේ මුද්‍රණ කටයුතු අවසන් වූ සැනින්, ඒ පිළිබඳව පැය දෙකක් (02) ඇතුළත කෙටි පණිවිඩයක් (SMS) මාර්ගයෙන් වාහන හිමියාගේ ජංගම දුරකථනයටම දැනුම්දීමට නව වැඩපිළිවෙල යටතේ සියලු විධිවිධාන සලසා ඇත.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.