ඇළහැර ගොවියෝ 300ක් එකවර මහ පාරට බසිති !

17 Jun 2026, 7:03 PM | News | Views: 33

Article Image
ඇළහැර ප්‍රදේශය පුරා දිනෙන් දින ඉහළ යන වන අලි තර්ජන සහ අලි-මිනිස් ගැටුමට ස්ථාවර විසඳුම් ලබා දෙන ලෙස බලධාරීන්ට බල කරමින්, ඇළහැර ප්‍රදේශයේ ක්‍රියාත්මක ගොවි සංවිධාන නවයක (09) සුවිශාල ගොවි ජනතාවක් අද (17) දහවල් කාලයේදී ගිරිතලේ - බකමූණ ප්‍රධාන මාර්ගය අත්තනකඩවල ප්‍රදේශයෙන් මුළුමනින්ම අවහිර කරමින් දැවැන්ත විරෝධතාවයක නිරත වූහ.

"ඇළහැර ජනතා එකමුතුව" විසින් ස්වාධීනව සංවිධානය කරන ලද මෙම විරෝධතා ව්‍යාපාරය සඳහා අත්තනකඩවල, පොකුණුගල, ඉකිරිවැව, සෑගල, ඇලහැර, කෝට්ටපිටිය, කෝඳුරුවාව, දිග්ගල්පිටිය සහ මඩුදමන යන ගම්මාන නියෝජනය කරන ගොවි සංවිධාන 09 කට අයත් ගොවි මහතුන් සහ ප්‍රදේශවාසීන් 300 කට ආසන්න සුවිශාල පිරිසක් එක්ව සිටියහ.

විරෝධතාවයේ නිරත ගොවීන් පෙන්වා දෙන්නේ, ඇළහැර කලාපය තුළ මීට පෙර අවස්ථාවලදී සිදුවූ දරුණු වන අලි පහරදීම් හේතුවෙන් අහිංසක මිනිස් ජීවිත රැසක් රටට අහිමි වී ඇති බවයි.

ඊට අමතරව වගාවලට සිදුවූ දැවැන්ත දේපල හානි මෙන්ම ගම්මානවල පිහිටි සාමාන්‍ය ජනතාවගේ නිවාස රැසකට ද වන අලින් විසින් බරපතළ ලෙස හානි සිදුකර ඇති බැවින්, තමන් මේ වන විට ජීවත් වන්නේ දැඩි අනාරක්ෂිත තත්ත්වයක බව ඔවුන් අවධාරණය කර සිටිති.

මෙම හදිසි මහජන විරෝධතාවය හේතුවෙන් ගිරිතලේ සිට බකමූණ දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ සමස්ත වාහන ගමනාගමන කටයුතුවලට පුරා පැය තුනකට (03 Hours) ආසන්න අතිදීර්ඝ කාලයක් තිස්සේ දැඩි බාධා එල්ල වූ අතර, මාර්ගය දෙපස දැවැන්ත වාහන තදබදයක් ද නිර්මාණය වී තිබුණි.

තත්ත්වය පාලනය කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වූ දියබෙදුම පොලිස් ස්ථානාධිපති, කේ.එන්.සී. මධුසංක මහතා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විරෝධතාවය පැවැති අත්තනකඩවල ස්ථානය වෙත පැමිණ ගොවීන් සමඟ සාකච්ඡා පැවැත්වූහ.

එහිදී, විරෝධතාකරුවන්ගේ සාධාරණ ඉල්ලීම්වලට විසඳුම් දිය හැකි අදාළ වගකිවයුතු උසස් රාජ්‍ය නිලධාරීන්ව කඩිනමින් මෙම ස්ථානයට කැඳවා දෙන බවට ස්ථානාධිපතිවරයා විසින් නිල වශයෙන් පොරොන්දුවක් ලබා දෙන ලදී.

පොලිසිය ලබා දුන් එම සාධනීය පොරොන්දුවෙන් අනතුරුව, මහජනතාවට සිදුවන අපහසුතාවය සැලකිල්ලට ගෙන ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් (One Lane) පමණක් අවහිර වන සේ තම විරෝධතාවය සාමකාමීව ඉදිරියට පවත්වාගෙන යාමට ගොවි ජනතාව කටයුතු කළහ.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.