ජාතියේ ගමන්මඟ අර්ථ සම්පන්න ලෙස වෙනස් කල පොසොන්.

29 Jun 2026, 1:32 PM | News | Views: 10

Article Image
ශ්‍රී ලාංකේය ජාතියේ ගමන්මඟ අර්ථ සම්පන්න ලෙස වෙනස් කළ උතුම් වූ බුදු දහම මෙරටට ලැබුණේ අද වන් වූ පොසොන් පුර පසළොස්වක පොහෝ දිනකදීය.

ථෙරවාද බෞද්ධ දර්ශනයේ සහ සම්ප්‍රදායේ කේන්ද්‍රස්ථානයක් බවට අපේ රට පත් වීමේ ආරම්භයද අනුබුදු මිහිදු හිමියන්ගේ ලංකාගමනය සමඟ සනිටුහන් කෙරුණු අතර, සමාජ පරිවර්තනයක් සමග අධ්‍යාත්මික ප්‍රබෝධක් ජනිත කිරීමට හේතු වූ එම අසිරිමත් සිදුවීම හුදු ආගමික අර්ථයෙන් ඔබ්බට ගොස් අප රටෙහි සංස්කෘතික, සමාජීය සහ දේශපාලන ආදී සෑම ක්ෂේත්‍රයකම වඩා දියුණු සැකැස්මක් නිර්මාණය කළේය.

එමෙන්ම, ජාතියක් ලෙස නැගී සිටීමේ ශක්තිමත් අත්තිවාරමක් සමඟ අධ්‍යාපනයේ පරිවර්තනයක්ද ඇති කළ බුදු දහම, පන්සල පිරිවෙන බවට පත් කරමින් රටේ ජනතාව තුළ අධ්‍යාත්මික පෙරළියක් ඇති කිරීම උදෙසා දැනුමේ කේන්ද්‍රස්ථානයක සමාජ මෙහෙවරද ඉටු කළේය. එපමණක් නොව වාස්තු විද්‍යාව, චිත්‍ර කලාව, වාරි කර්මාන්තය, ගෘහ නිර්මාණ ශිල්පය, කැටයම් කලාව ආදී කලා නිර්මාණයන්ගේ නව පරිවර්තනයක් ඇති කරමින් අප ජාතිය ප්‍රෞඪ ජාතියක් ලෙස ලෝකය හමුවේ ඔසවා තැබීය.

එවන් අභිමානවත් ශ්‍රේෂ්ඨ ඉතිහාසයක වත්මන් උරුමකරුවන් වන අප සියලු දෙනාහට අද දවසේ පැවරී ඇති අත්හළ නොහැකි වගකීම වන්නේ මේ වන විට සමාජය තුළින් වියැකී යන සාරධර්ම සහ හර පද්ධතින් යළි කැඳවාගෙන එමින්, ශිෂ්ට සම්පන්න රාජ්‍යයක් ගොඩනැගීමට එක්ව කැපවීමයි. එහිදී පාර්ලිමේන්තුව, රාජ්‍ය ආයතන ඇතුළු සියලු සංදර්භයන් තුළට ශිෂ්ටත්වය කැඳවාගෙන ඒමේ අරගලයේ අපි මේ වන විටත් නිරතව සිටින්නෙමු.

ආචාරධාර්මික පැවැත්මක් නොමැති රටකට සැබෑ දියුණුවක් කරා ළඟා විය නොහැකිය. මිහිදු මහරහතන් වහන්සේ දේශනා කළ “චුල්ලහත්ථිපදෝපම” සූත්‍රයෙන් අවධාරණය කෙරෙන්නේ අනුපූර්ව ශික්ෂණයේ වැදගත්කමයි. බුදු දහමත් සමග මෙරටට ලැබුණු එම අභිමානවත් ශිෂ්ට සම්පන්න සමාජයේ උරුමය ලක් පොළොව මත ප්‍රතිෂ්ඨාපනය කරමින්, රටට ඇවැසි ආචාරධාර්මික, සමාජයීය සහ පාරිසරික නව ආකල්ප සහිත නූතන ශිෂ්ට සම්පන්න රාජ්‍යයක් ගොඩනැගීම වෙනුවෙන් තිර අදිටනින් යුතුව ශක්තිමත්ව අත්වැල් බැඳගනිමු'යි මම සියලු දෙනාට ආරාධනා කරමි.

සැමගේ හදවත් දයාවෙන්, කරුණාවෙන් සහ ප්‍රඥාවෙන් ආලෝකමත් වන පින්බර පොසොන් මංගල්‍යයක් වේවා !

අනුර කුමාර දිසානායක
ජනාධිපති
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
2026 ජූනි මස 29 දින
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.