අප්රිකානු සංගමය සමඟ සහයෝගීතාව ශක්තිමත් කිරීමට ශ්රී ලංකාව සූදානම්
16 Oct 2026, 3:48 PM |
News |
Views: 14
අප්රිකානු සංගමයේ (AU) කොමිෂන් සභාවේ සභාපති මහ්මුද් අලි යූසුෆ් මහතා වෙත ශ්රී ලංකාවේ අප්රිකානු සංගමය සඳහා පත්කර ඇති තානාපතිනි නිර්මලා ඉන්දුමතී ඩයස් පරණවිතාන මහත්මිය සිය අක්තපත්ර පිරිනමා තිබේ.
එහිදී අප්රිකානු සංගමය සහ ශ්රී ලංකාව අතර පවතින සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමේ හැකියාව පිළිබඳව දෙපාර්ශ්වය සාකච්ඡා කර ඇත.
දකුණු-දකුණු සහයෝගීතාව (South-South Cooperation) ඔස්සේ අප්රිකානු කලාපයේ සංවර්ධන ප්රමුඛතා සඳහා සහාය ලබාදීම මෙහි ප්රධාන අරමුණක් වී තිබේ.
විශේෂයෙන්ම තරුණ ප්රජාව සවිබල ගැන්වීම, කෘෂිකර්මාන්තය හා ආහාර සුරක්ෂිතතාව, ඩිජිටල්කරණය, මැතිවරණ පද්ධති නවීකරණය, තාක්ෂණික හා වෘත්තීය පුහුණුව, සෞඛ්ය සේවා, දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම සහ නිල් ආර්ථිකය යන ක්ෂේත්රවල සහයෝගීතාව වර්ධනය කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමු කර ඇත.
ශ්රී ලංකාව සතු කෘෂිකාර්මික දැනුම, තාක්ෂණික අත්දැකීම්, ජල සම්පත් කළමනාකරණය සහ ගැටුම්වලින් පසු සංහිඳියාව ගොඩනැගීම පිළිබඳ අත්දැකීම් අප්රිකානු රටවල් සමඟ හුවමාරු කර ගැනීමට ඇති කැමැත්ත අප්රිකානු සංගමයේ සභාපතිවරයාගේ පිළිගැනීමට ලක්ව තිබේ.
එමෙන්ම අප්රිකානු මහද්වීපය පුරා ආයතනික හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීම, දැනුම හුවමාරු කර ගැනීම සහ ආයෝජන අවස්ථා පුළුල් කිරීම සඳහා ද අවධානය යොමු කර ඇත.
මෙම ක්ෂේත්රවලදී අප්රිකානු සංගමයේ ඇතැම් සාමාජික රටවල් සමඟ ශ්රී ලංකාව දැනටමත් පවත්වාගෙන යන ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව ද සභාපතිවරයා සිය ප්රසාදය පළ කර තිබේ.
තිරසාර සංවර්ධනය ඉදිරියට ගෙන යාම සඳහා දෙපාර්ශ්වය සතු දැනුම හා අත්දැකීම් ප්රයෝජනයට ගැනීමත්, ප්රායෝගික හවුල්කාරිත්වයන් වර්ධනය කිරීමත් වැදගත් බව ශ්රී ලංකා තානාපතිනිය සහ අප්රිකානු සංගමයේ සභාපතිවරයා මෙහිදී යළිත් අවධාරණය කර ඇත.
මෙම සහයෝගීතාව පුළුල් කිරීම තුළින් අප්රිකානු රටවල් සමඟ ශ්රී ලංකාවේ රාජ්යතාන්ත්රික සබඳතා ශක්තිමත් කිරීමට මෙන්ම ආර්ථික, තාක්ෂණික හා සංවර්ධන ක්ෂේත්රවල නව අවස්ථා නිර්මාණය කිරීමට ද ඉඩකඩ සැලසෙනු ඇත.