වාහන අංක තහඩුවට පුද්ගලික නමක් යෙදීමේ යෝජනාවක්
16 Oct 2026, 5:14 PM |
News |
Views: 17
ශ්රී ලංකාවේ වාහන ලියාපදිංචි අංක තහඩු සඳහා සාම්ප්රදායික අංක වෙනුවට පුද්ගලික හෝ ව්යාපාරික නාම ප්රදර්ශනය කිරීමට අවස්ථාව ලබාදීමේ යෝජනාවක් පිළිබඳව අවධානය යොමු වී තිබේ.
ප්රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන පිළිබඳ පාර්ලිමේන්තු අමාත්යාංශයීය උපදේශක කාරක සභාවේ මෑතකදී පැවති රැස්වීමකදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.
එම රැස්වීම ප්රවාහන අමාත්ය බිමල් රත්නායක මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්විණි.
යෝජනාවට අනුව, වාහන හිමිකරුවන්ට දැනට භාවිත කරන සාමාන්ය ලියාපදිංචි අංක වෙනුවට තමන්ගේ නමක් හෝ ව්යාපාරයක නමක් සහිත විශේෂ අංක තහඩු ලබාගැනීමට අවස්ථාව සැලසීමට අපේක්ෂා කෙරේ.
එමෙන්ම, රජයට අමතර ආදායමක් උපයා ගැනීමේ අරමුණින් විශේෂ වාහන ලියාපදිංචි අංක හඳුන්වාදීම පිළිබඳව ද කාරක සභාවේදී සාකච්ඡා කර තිබේ.
එමඟින් වාහන හිමිකරුවන්ට තම කැමැත්ත අනුව ලියාපදිංචි අංක තෝරාගැනීමේ වැඩි අවස්ථාවක් ලබාදීමට ද අපේක්ෂා කෙරේ.
කෙසේ වෙතත්, මෙම යෝජනාව ක්රියාත්මක කිරීමට පෙර එහි තාක්ෂණික, නීතිමය සහ ආරක්ෂක බලපෑම් පිළිබඳව පුළුල් අධ්යයනයක් සිදුකළ යුතු බව නිලධාරීන් පෙන්වා දී ඇත.
ශ්රී ලංකාවේ වාහන ලියාපදිංචි කිරීමේ ක්රමවේදය නවීකරණය කිරීම සහ මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව මඟින් සපයන සේවාවන් වැඩිදියුණු කිරීම සඳහා ගෙන යන පුළුල් වැඩපිළිවෙළේ කොටසක් ලෙස මෙම සාකච්ඡා සැලකිය හැකිය.
කෙසේ වෙතත්, පුද්ගලික නාම සහිත වාහන අංක තහඩු හඳුන්වාදෙන දිනයක් හෝ ඒ සඳහා අය කිරීමට යෝජිත ගාස්තු පිළිබඳව මෙතෙක් නිවේදනය කර නොමැත.